Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) තවත් වසර පහකට දීර්ඝ කරයි

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) තවත් වසර පහකට දීර්ඝ කිරීම ඊයේ (11) අමාත්‍යාංශයේ දී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ ඕස්ට්‍රේලියානු සහකාර විදේශ අමාත්‍ය ටිම් වොට්ස් මහතා ඉදිරියේ දී වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා හා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා විසින් අත්සන් තැබිණි.

ඒ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සිය යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන මිත්‍ර රාජ්‍යයක් වන ඕස්ට්‍රේලියාව මේ වන විට ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශවීය වෙළඳ හා ආයෝජන සබඳතා ආරම්භ කර වසර 75ක් ගත වී තිබේ. 

2017 වසරේ නොවැම්බර් දෙවන දින අත්සන් කරනු ලැබූ මෙම ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) හරහා දෙරට අතර කෘෂි අපනයනවලට අදාළ ශාඛ නිරෝධායන ක්‍රියාවලිය වඩා පහසු කිරීම, ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන්, කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙළෙඳපොලට ප්‍රවිශ්ටවීම, විදේශ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම, ඩිජිටල් තාක්ෂණය සඳහා අත්වැල් බැඳ ගැනීම යන අරමුණු ඔස්සේ ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා රජය සමඟ අත්වැල් බැඳ ගැනීමට නියමිතයි. 

තව ද දෙරට අතර ව්‍යාපාරිකයන් සඳහා වෙළෙද හා ආයෝජන අවස්ථා ඇතුළත් නව ව්‍යාපාරික අවස්ථාවන් මෙන්ම වඩා හිතකර වෙළෙඳ පරිසරයක් ඇති කිරීම සඳහා වූ වෙළෙඳ ආයෝජන ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමට ද මෙහි දී අවස්ථාව හිමි වේ.