Tuesday, October 22, 2024
Follow Us
ආසියානු සංවර්ධන බැංකුවට අගමැතිගෙන් යෝජනා

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය ආදී ක්ෂේත්‍රවලට අදාලව නව ව්‍යාපෘති ඇරඹීම සදහා ආයෝජනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කරයි.

අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේ අද (03) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadono මහතා හමුවු අවස්ථාවේදීය.

විශේෂයෙන් මෙරට දුම්රිය සේවය සම්බන්ධයෙන් වු නව ව්‍යාපෘති කෙරෙහි අවධානයක් යොමු කරන ලෙස ද අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ අර්බුදය හමුවේ ආර්ථික ස්ථාවරත්වය ළගා කර ගැනීම සදහාත්, කෘෂිකර්මාන්ත ඇතුළු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සහාය අග්‍රාමාත්‍යවරයා අගය කළේය.

ආර්ථික ප්‍රගතිය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරන මධ්‍ය කාලීන සහ දිගු කාලීන ව්‍යාපෘති පිළිබඳව Takafumi Kadono මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

ආසියානු සංවර්ධන බැංකුව මගින් දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම, පුද්ගලික අංශයේ සංවර්ධනය කිරීම, රාජ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සමාජ ආරක්ෂණය, සාධාරණ ප්‍රවේශය, සෞඛ්‍යය, දේශගුණය සහ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම වැනි ක්ෂේත්‍ර ආවරණය කෙරෙයි.

ව්‍යාපෘතිවල ප්‍රගතිය අධ්‍යයනය කිරීමට සහ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමට ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කළ නව ව්‍යාපෘති පිළිබඳව සළකා බැලිය හැකි බවත් Takafumi Kadono මහතා වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.