Tuesday, October 22, 2024
Follow Us
නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ඇමරිකාවේ සහය

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා ක්ෂේත්‍රයන්හි නවීකරණය මෙන්ම, නව තාක්ෂණය උපයෝගි කරගනිමින් ඩිජිටල්කරණය කිරීමේදී මුහුණ පෑමට සිදුවන සුවිශේෂි අභියෝගයක් වන දත්තවල ආරක්ෂිතභාවය රැකගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළයුතු බවත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චුන්ග් මහත්මිය පැවසුවාය.

තානාපතිවරිය මෙම කරුණු අවධාරණය කළේ  පසුගියදා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂ්ත්‍රය පුළුල් කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පැසසුමට ලක්කළ තානාපතිවරිය, ඒ සඳහා ඇමරිකානු ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළාය.

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂෙත්‍රය අනාගතයට සරිලන අයුරින්  සංවර්ධන කටයුතු සිදුකිරීමට අවශ්‍ය නව ප්‍රතිපත්ති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ සිදුකර ඇති බවත්  ඒ තුළින් මෙම ක්ෂෙත්‍රය රජයට බරක් නොවී පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්ය.