Tuesday, October 22, 2024
Follow Us
10 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව - ලන්ඩනයේදී

පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ මාල්බරෝ හවුස් (Marlborough House) හි සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා පැවැති 10 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්විණි.

ඒ් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටියේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව තරුණ ප්‍රතිපත්ති සහ සංවර්ධනය, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් තුළ පුළුල් සමාජ සහ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා දායක වේ. වසර 05 කට පසු පැවති මෙම සමුළුව අමතමින් අමාත්‍යවරයා නව යුගයට හා අනාගතයට ගැළපෙන අයුරින් තරුණ කටයුතු ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් පළ කළේ ය.

තරුණ තරුණියන් අතර හැකියාවන් හා දක්ෂතාවන් වර්ධනය සහ යොවුන් සමාජ සංවර්ධනය සඳහා ජාතික තරුණ සේවා සභාව සහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් අතර යෝජිත විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සමුළුවට සමගාමීව අමාත්‍යවරයා එහි පැමිණි නියෝජිතයින් සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ඒ අතර කතානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල්, මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී, සහකාර මහලේකම් මහාචාර්ය ලුයිස් ජී, අගමැතිගේ විශේෂ නියෝජිත  විම්බල්ඩන්හි සාමිවරයා (තාරික්) අහමඩ්, බෲනායි දරුස්සලාම්හි ගරු සංස්කෘතික,තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ඩේටෝ නස්මි මොහමඩ්, පකිස්ථාන විදේශ ඇමති ජලීල් අබ්බාස් ජිලානි, මැලේසියාවේ යෞවන හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ආදම් අද්ලි අබ්ද් හලීම් යන මහත්වරු ක්‍රීඩා සහ තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ අනාගත සහයෝගීතාවයන් පිළිබඳව සාකච්ඡා කළහ.

කතානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මැතිතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා ඇගයීමට ලක් කර එය දැකීමට කැමති බව ප්‍රකාශ කළ අතර, මැලේසියානු අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තරුණ කටයුතු මෙන්ම ක්‍රිකට් සහ කබඩි ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අලුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කළහ. පුහුණුකරුවන් සහ පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මැලේසියාවේ සහාය ඉල්ලා සිටියේය.

මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ ව්‍යවසායකයින් සඳහා පුහුණු සැසි සකස් කර එකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වටිනාකම ද සාකච්ඡා විය.

පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, ICC වෙත ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙන්ම හොකී ක්‍රීඩාව දියුණු කිරීමට සහය දක්වන ලෙසද ඉල්ලා සිටියේය. එහිදී විදේශ අමාත්‍ය ජිලානි, ක්‍රීඩා සහ යෞවන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පකිස්තාන සහාය ලබා දෙන බවට සහතික විය