Tuesday, October 22, 2024
Follow Us
චීන නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති අතර හමුවක්

චීන තානාපති කාර්යාලයේ නව නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, අමාත්‍ය උපදේශක Yanwei Zhu මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක්, චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විණ.

මෙහි දී, දෙරට අතර පවතින නොබිඳෙන සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගැනීම, බෞද්ධ රාජ්‍යයන් දෙකක් ලෙස ආගමික සංහිඳියාවන් වර්ධනය කර ගැනීම, දෙරටේ තරුණ තරුණියන්ගේ ආකල්ප හා සුහදතාවය වර්ධනය කිරීම පිණිස ක්‍රීඩා ඇතුළු තරුණ වැඩමුළු සංවිධාන කිරීම, කෘෂි තාක්ෂණය නව්‍යකරණය කිරීම ආදිය පිළිබඳ ඉතා සුහදව සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහා චීන රජයේ පූර්ණ සහාය ලබාදීමට Yanwei Zhu මහතා එකඟ වී තිබේ.
හංෂෝ හි පැවැත්වීමට නියමිත "ආසියානු ක්‍රීඩා උළෙල" පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කර ඇති අතර චීන ඔලිම්පික් කමිටුව මුණගැසීමට අමාත්‍යවරයා කැමැත්ත ප්‍රකාශ කර ඇත.
මේ වසරේ ඔක්තෝබර් මස 04 - 06 දින දක්වා "ටිබෙට්"හි පැවැත්වීමට නියමිත වැඩමුළුවකට අමාත්‍යවරයා වෙත ද ආරාධනා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව Yanwei Zhu මහතා සඳහන් කර තිබේ.