Tuesday, October 22, 2024
Follow Us
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ කථානායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත්වූ ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ. 

මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධිර මහත්මිය ද එක්ව සිටියා ය.

දෙරට පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට තමා බලාපොරුත්තු වන බව එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා මෙහි දී සඳහන් කළේය. 

මේ අතර, අලුතින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කරන ලදී.

මෙහි දී පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමය හරහා ක්‍රියාත්මක වන වැඩසටහන් පිළබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැහැදිලි කළ අතර එක්සත් රාජධානිය දක්වන සහයෝගය පිළිබඳ ස්තූතිය පළ කළේය.

මෙයට අමතරව, පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන්, පක්ෂ නායකයන්ට හා මන්ත්‍රීවරයන්‍ට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමට ඇති අවස්ථා, පාර්ලිමේන්තුවේ පවතින මූල්‍ය කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා ඇතුළු කරුණු පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණ.