Tuesday, October 22, 2024
Follow Us
තරුණ නිපුණතා සංවර්ධනයට සහ අධ්‍යාපනයට ජපාන සහාය

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අද (01) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවිය.

දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යටිතල පහසුකම් සංවර්ධනය, බලශක්තිය, දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ තරුණ නිපුණතා සංවර්ධනය වැනි ක්ෂේත්‍ර රැසකට ජපානය නිරතුරුව ශ්‍රී ලංකාවට සහය ලබාදී ඇති බවයි.

නිල සංවර්ධන සහය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී නකානිෂි යුසුකේ ප්‍රකාශ කළේ ජපානය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙකු වන අතර කඩිනම් සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර ලබාදෙන බවයි. ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇති හැකියාව ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ ජපානයට තරුණ නිපුණතා සංවර්ධන සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා සහය විය හැකි බවයි.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වශයෙන් ජපන් භාෂාව හදාරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දූත පිරිසට ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන Imai Eriko සහ Ozawa Masahito, ජපාන තානාපති Mizukoshi Hideaki සහ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුවේ ප්‍රධාන පර්යේෂණ නිලධාරී, Mingawa Kenichi ඇතුළත් විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර සහ රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.