Tuesday, October 22, 2024
Follow Us
නෙදර්ලන්ත අමාත්‍ය ගුනේ උස්ලු සහ අගමැති අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හවුල් අතීතයක් ඇති බවත්, කෞතුකාගාර එකතු කළමණාකරණය, පර්යේෂණ දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම යන ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවයෙන් පොදු අනාගතයක් ගොඩනගා ගැනීමට එය ඉවහල් වනු ඇති බවත් නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය අමාත්‍ය ගුනේ උස්ලු (Gunay Uslu ) පැවසීය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.

නෙදර්ලන්ත අමාත්‍ය ගුනේ උස්ලු සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක 2023.08.28 දින ශතවර්ෂ දෙකහමාරකට පෙර ලන්දේසි පාලන සමයේදී ශ්‍රී ලංකාවෙන් ලබාගත් වටිනා කෞතුක වස්තු හුවමාරු කිරීම සඳහා පුරාවස්තු හුවමාරු ගිවිසුමකට අත්සන් කරන ලදී. නිදහස් සටන්කාමී ලෙව්කේ දිසාවේගේ සුප්‍රසිද්ධ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක් (උත්සාහක කඩුව), සිංහල පිහි, රිදී කස්තාන් සහ තුවක්කු දෙකක් මෙලෙස හුවමාරු කෙරෙන වස්තූන් අතර වේ.

කෞතුක වස්තු හුවමාරු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ගුනේ උස්ලු මහත්මියට ස්තූතිය පළ කළ අතර ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය, ඇළ මාර්ග පද්ධතිය, බලකොටු සහ අනෙකුත් ස්මාරක පිළිබඳ පර්යේෂණ සඳහා දෙරට සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු බව පැවසීය.

ලෙව්කේ දිසාවට අයත්ව තිබූ කාලතුවක්කුව ගැන සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මෙම වටිනා නිධානය ශ්‍රී ලංකාවට යළි හිමිවීම පිළිබඳව සතුටට පත්වන බවත් ලෙව්කේ තම උපන් ගම වන සීතාවකට ආසන්න ස්ථානයක් බවත් මුළු රටම වීර ලෙව්කේ දිසාවට ජාතික ගෞරවය පුද කරන බවත් නෙදර්ලන්ත නියෝජිත පිරිසට ප්‍රකාශ කළේය.

ජාතික කෞතුකාගාරයේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද කුටියක කෞතුක වස්තු සංරක්ෂණය කිරීම සඳහා සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන කාර්යයට පහසුකම් සැලසීමට නෙදර්ලන්තයෙන් මූල්‍ය ප්‍රදානයක් ලබා දෙන බව අමාත්‍ය ගුනේ උස්ලු සඳහන් කළාය. ඇය 1751 දී බල්ටස් ජාක්වාස් වැන් ලියර් (Baltus Jaquaez Van Lier) විසින් අඳින ලද පැරණි ලංකා සිතියමක් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළාය.