Tuesday, October 22, 2024
Follow Us
සිම්බාබ්වේ ජනපතිවරණයෙන් හිටපු ජනපතිට ජය

සිම්බාබ්වේ දේශයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා දෙවැනි වරටත් ජනපති පදවියට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.‘දි ක්‍රොකඩයිල්’ සුරතල් නමින් ප්‍රකට වී සිටින 80 හැවිරිදි ම්නන්ගග්වා මෙවර ජනාධිපතිවරණයේදී 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ ජයග්‍රහණය එරට විපක්ෂය පිළි නොගන්නා බව වෙනසක් සඳහා වන ජනතා බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නෙල්සන් චමිසා ඇතුළු සෙසු අපේක්ෂකයන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

මෙවර සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ දෙවැනි වැඩිම ඡන්ද ප්‍රතිශතය හිමි කර ගනු ලැබූ චමිසා 44.03% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබේ. විපක්ෂයේ මතය තහවුරු කරමින් සිම්බාබ්වේ ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයට වඩා පහළ මට්ටමක පැවැති බවට ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් ද ප්‍රකාශ කිරීම නිසා එරට දේශපාලන කරළිය උණුසුම් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේට එරෙහිව 2017 දී කළ කුමන්ත්‍රණයකින් බලයට පත් වූ ම්නන්ගග්වාගේ ධුර කාලයේදී එරට උද්ධමනය, දරිද්‍රතාව සහ භීෂණය ඉහළ ගිය අතර, පසුගිය මාසය වන විටත් සිම්බාබ්වේ දේශය ලොව ඉහළම උද්ධමන අනුපාතය ඇති රටවල් අතරට පත්ව සිටියේය.

-Dinamina