Tuesday, October 22, 2024
Follow Us
බිලිඳු දරුවන් 7 දෙනකු ඝාතනය කළ බ්‍රිතාන්‍යයේ දාම ඝාතක කාන්තාව දිවි ඇති තෙක් හිරේ

මෑත ඉතිහාසයේ බ්‍රිතාන්‍යයේ වඩාත්ම බිහිසුණු හා දරුණු දාම ඝාතකයා ලෙස සැලකෙන ලුසී ලෙට්බි නමැති හෙදියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. 33 හැවිරිදි කාන්තාව ඇය සේවය කළ චෙස්ටර් රෝහලේ ළදරුවන් 7 දෙනකු ඝාතනය කර ඇති අතර, තවත් ළදරුවන් 6 දෙනකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධව වරදකාරිනිය බව අධිකරණය තීන්දු කර ඇත.

ඇය බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රියාවලි ඉතිහාසයට එක්වන්නේ එතෙක් මෙතෙක් බ්‍රිතාන්‍ය තුළ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සිවුවැනි කාන්තාව ලෙසටය. ඊට පෙර මීරා හින්ඩ්ලි, රෝස්මරි වෙස්ට් සහ ජොආනා ඩෙනේ අපරාධ චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ කාන්තාවන් ලෙස ඉතිහාසයට එක්වී සිටින බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ දාම ඝාතන කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් විනිසුරු ජස්ටින් ගෝස් ප්‍රකාශ කර ඇත්තේ ළදරුවන් පෝෂණය කිරීම හා රැකබලා ගැනීම වැනි සාමාන්‍ය මානුෂික ගුණංගවලට පටහැණිව සහ වෛද්‍ය හා රැකවරණ වෘත්තීන් හි සෙසු අය සම්බන්ධව සාමාන්‍ය පුරවැසියන් අතර ඇති විශ්වාසය කඩ කරන ආකාරයෙන් ඇය ක්‍රියා කර ඇති බවය.

Dinamina