Tuesday, October 22, 2024
Follow Us
තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කෙරේ

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාන්පෝල් මහතා (Poj Harnpol) අතර හමුවක් අද (21) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර දිගු කාලයක සිට පවතින ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහයෝගිතාවය තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන තත්වය සහ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්වයට පත්වීම සතුටු දායක බවත්, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර දිගු කාලීනව පවතින ආගමික සංස්කෘතික හා දේශපාලන සබඳතාවයන් තවදුරටත් වැඩි දියුණු කරන බවත්, තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.


තායිලන්තයේ පවතින මැතිවරණ ක්‍රමය පිළිබදව අධිකරණ අමාත්‍යවරයා විසින් තානාපතිවරයාගෙන් කරුණු විමසු අතර එහිදී ඒ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් තානාපතිවරයා විසින් කරන ලදී.
තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී නැවත තායිලන්තය වෙත රැගෙන යන ලද මුතු රාජා හස්තියා පිළිබඳව අමාත්‍යවරයා විමසන ලද අතර මුතු රාජා හස්තියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහු පෙන්වා දුන්නේය.


මෙරට ජාතීන් අතර සංහිදියාව ගොඩ නැවීම සදහා ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව කාර්යාලය හා හානි පුර්ණ කාර්යාලය ස්ථාපිත කර ඇති බවත් සත්‍ය සෙවීමේ කොමිෂම කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිත බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.