Tuesday, October 22, 2024
Follow Us
වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට පියවර

හත් වැනි චීන - දකුණු ආසියා ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේදී වියට්නාමයේ උප ජනාධිපති ට්‍රාන් ලු ක්වාං මහතා සමඟ හමුවක් පැවැත්වීය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දැනට පවතින හවුල් ව්‍යාපාරවලට අමතරව නව වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිදුකළ ඉල්ලීමට වියට්නාම උප ජනාධිපතිවරයා එකඟ විය.
වියට්නාමයේ ආයෝජනයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් වෘත්තිකයන්ට සහ පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා උදාවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
තේ, පොල්,රබර් සහ ධීවර, විකල්ප බලශක්ති සහ පතල් කැණීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකර්මාන්තයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව මෙම සාකච්ඡා වලදී අවධානය යොමු කරනු ලැබීය.
දෙරට අතර ගුවන් ගමන් වැඩි කිරීම, සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වීමට ඉවහල් වන බැවින් බෞද්ධ සිද්ධස්ථාන වෙත සංචාරක පැමිණීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට වියට්නාමය එකඟ විය.
දකුණු හා අග්නිදිග ආසියානු රටවල් ඇතළුව (RCEP) කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා සාමාජික රටවල් 60ක සහභාගීත්වයෙන් පැවැත්වුණු 7 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනය සදහා එක් වුණු ඉන්දුනීසියා, මියන්මාර්, නේපාල උප ජනාධිපතිවරුන්, මාලදිවයින් වාණිජ අමාත්‍ය, ඇතුළු විදේශ නියෝජිතයන් රැසක් සමඟ ද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්විය.