Tuesday, October 22, 2024
Follow Us
චීනය තීරණාත්මක, සැබෑ ගෝලීය නායකයෙක් -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්තය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන - දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් චීනයේ කුන්මිං හිදී අද (16) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම අති විශාල වෙළඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60 ක් සහභාගී වන අතර සියලුම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් මෙන්ම (RECP) කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා සාමාජික රටවල් ද ඊට ඇතුළත් වේ.

මෙම ප්‍රදර්ශනයට ජෛව වෛද්‍ය හා සෞඛ්‍ය සේවා මණ්ඩපයක්, සම්පත් ආර්ථික මණ්ඩපයක් සහ කලාපීය සහයෝගීතා මණ්ඩපයක් ඇතුළුව ප්‍රදර්ශන ශාලා ඇතුළත් වන අතර, නොබැඳි සහ සබැඳි අන්තර්ගතයන් එකවර ප්‍රදර්ශනය කෙරෙයි. ‘පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය’ යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට අප එකට එක්වන මෙම අවස්ථාව අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. සියවස් ගණනාවකට පෙර සිට පැවත එන මිත්‍රශීලී සබඳතා මත ශ‍්‍රී ලංකාව සහ චීනය බැඳී සිටිනවා. මෙම ඓතිහාසික සබඳතා සමුද්‍රීය සේද මාවත ඔස්සේ සශ්‍රීක වූ වෙළෙඳ හුවමාරුව සහ සංස්කෘතිය හා දැනුම පිළිබඳ දුරදිග යන සහයෝගීතාවයෙන් පෝෂණය වුණා.
මෑත කාලයේ අපේ රටවල් දෙක වසර 66 ක විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් භුක්ති විඳිනවා. අප විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමටත් පෙර, චීනය සහ ශ්‍රී ලංකාව රබර්-සහල් ගිවිසුමට එළඹුණේ පසුගිය වසරේ 70 වැනි සංවත්සරය සනිටුහන් කළ බටහිර රටවල් චීනය සමඟ වෙළඳාම් කිරීමට අකමැති වූ අවස්ථාවකයි.
එතැන් පටන් චීනය සහ ශ්‍රී ලංකාව එකිනෙකා හොඳ මිතුරන් ලෙස සැලකූ අතර අප දෙරට අතර විශේෂ සබඳතාවයක් පවතිනවා. අභියෝගාත්මක කාලවලදී අප සමඟ අඛණ්ඩව සිටීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවට දක්වන නොසැලෙන සහයෝගය කෘතවේදී වෙනවා.
පසුගිය දශක හතර තුළ චීනය මිලියන 800කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති අතර, ගෝලීය දරිද්‍රතාවය අඩුකිරීමෙන් 75%කට වඩා වැඩි ප්‍රමාණයක් දරනවා. නිසැකවම, මෙය විශිෂ්ට ජයග්‍රහණයක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය බෙහෙවින් අවශ්‍ය සහයෝගය ලබා දී ඇති බව අපි අගය කරන අතර ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිපත්තිය සඳහා චීනය ඉදිරියේදී අඛණ්ඩ සහයෝගීතාව සහ නම්‍යශීලීභාවය ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව අත්විඳින ලද සමාජ-ආර්ථික ව්‍යාකූලත්වයට පිළියම් යෙදීම සඳහා චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් මානුෂීය සහය ද මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණක්. Covid-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා Sinopharm එන්නත, මුහුණු ආවරණ, Covid-19 පරීක්ෂණ කට්ටල සහ අනෙකුත් සෞඛ්‍ය උපකරණ නැව්ගත කිරීම මගින් චීනය ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සහ වෛද්‍ය ආධාර සැපයීමේ උත්සාහයන් වේගවත් කළා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා චීනයෙන් ලැබෙන ආයෝජන ඉතා වැදගත් වන අතර ශ්‍රී ලංකාව තුළ චීනයෙන් තවත් ආයෝජන සඳහා අපි ආරාධනා කරනවා.
කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය සහ කර්මාන්ත කලාපය, ඉන්දියන් සාගරයේ මධ්‍යයේ ශ්‍රී ලංකාව පිහිටා තිබීමේ උපායමාර්ගික වාසියේ ප්‍රතිලාභය අවබෝධ කර ගනිමින් ශ්‍රී ලංකාවට එහි සාර්ථකත්වය තීරණාත්මක වෙනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර මෙම සර්වකාලීන සබඳතාව ශක්තියෙන් ශක්තිමත් වෙත්වා!