Tuesday, October 22, 2024
Follow Us
ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ඉදිකිරීම ගැන සාකච්ඡා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් ඊයේ (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙරටට විශාල අඩුපාඩුවක්ව පවතින Benchmark 4 වන මට්ටමේ ජාත්‍යන්තර රසායනාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ ජනාධිපතිතුමන්ද මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කර ඇති බවත් එමෙන්ම ප්‍රතිපාදන සැලැසීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බවත්ය. මේ සම්බන්ධව සම්පත් දායකත්වය , මූල්‍ය  ප්‍රතිපාදන රජය විසින් සපයන්නේ යැයිද කීය. මෙය ඉතාමත් හදිසි සහ අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකා කාල රාමුවක් යටතේ කළ යුත්තක් යැයිද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී ආචාර්ය අලාකා සිං මහත්මිය පැවසුවේ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලු සහාය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙරටට ලබාදීමට කටයුතු කරන බව ය. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව දැනට මෙරට පවතින සෞඛ්‍ය හා අනෙකුත් ගැටලු පිළිබඳ නිරන්තර දැනුවත් කිරීමක් හා නිරන්තර ක්‍රියාකාරී යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

රටවල් අතර සහයෝගීතාව හා සම්බන්ධීකරණය හරහා සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කළ හැකි බවද ඒ මහත්මිය  පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන සම්බන්ධිකාරක (කොවිඩ් සහ ඖෂධ ප්‍රදාන කටයුතු හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ) වෛද්‍ය අන්වර් හම්දානි මහතාද සහභාගි විය.