Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික සේවකයන්ට රුසියාවේ සෘජු රැකියා අවස්ථා

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික සේවකයන් සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සෘජු රැකියා අවස්ථා ආරම්භ කළ බව මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ පූර්ණ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය (SLFEA) සමඟ සහයෝගයෙන් මෙම රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙල දියත් කෙරේ.

මෙම මුලපිරීම යටතේ, මැහුම් ශිල්පීන් 58 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම 2023 අගෝස්තු 02 වැනිදා රුසියානු සමූහාණ්ඩුවට පැමිණියේ නිශ්නි නොව්ගොරොද් කලාපයේ පිහිටි සුප්‍රසිද්ධ රෙදිපිළි නිෂ්පාදන කම්හල් දෙකක සේවයේ නියුක්ත වීම සඳහා ය.

අතරමැදි ආයතනවල මැදිහත්වීමකින් තොරව මෙම මැහුම් ශිල්පීන් 58 දෙනා බඳවා ගැනීම සඳහා SLFEA සමඟ ගිවිසුම්වලට එළඹීමට තානාපති කාර්යාලය ඉහත සඳහන් සේවා යෝජකයන්ට පහසුකම් සලසා ඇත.

ශ්‍රී ලාංකික නිපුණ මැහුම් ශිල්පීන් සඳහා තවත් රැකියා අවස්ථා 700 ක් ලබා දීම සඳහා Nizhny Novgorod හි ප්‍රාදේශීය රාජ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව තානාපති කාර්යාලය පැවසීය.

එසේම තානාපති කාර්යාලය, අදාළ බලධාරීන් සමඟ සම්බන්ධ වී, තාක්ෂණික කාණ්ඩ ගණනාවක් යටතේ රුසියානු සමූහාණ්ඩුවේ සහ අනෙකුත් ප්‍රතීතනය ලත් රටවල ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමේ ක්‍රියාවලියක නිරතව සිටී.

-Dinamina