Tuesday, October 22, 2024
Follow Us
රටවල් කිහිපයක වීසා කාණ්ඩයක් සකස් කිරීම ගැන අවධනය

ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින ඇතුළු සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

• විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සීමාවාසික පුහුණු වැඩසටහනක් (Internship Program) ආරම්භ කිරීම පිළිබඳ අවධානය
• විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ අවධානය

ඉන්දියාව, බන්ගලාදේශය සහ මාලදිවයින ඇතුළු සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස්කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවතින විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා වූ අතර මෙම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින වැනි සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්ෂේත්ර් වල විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීම වැදගත් වන බවයි. මේ නිසා සහනදායී ආකාරයට මෙම රටවල් වෙනුවෙන් වීසා ලබාදීමේ ක්‍රවේදයක් සකස් කිරීමට කමිටුව ලෙස යෝජනා කරන බව හෙතෙම සඳහන් කළේය.

එසේම විදේශ කටයුතු අමාත්‍යාශය යටතේ විවිධ වැඩසටහන් වෙනුවෙන් සකස්වූ සීමාවාසික පුහුණු වැඩසටහනක් (Internship Program) ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාරක සභාව විදේශ කටයුතු අමාත්‍යාංශයට යෝජනා කළේය. මේ අනුව සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය විය යුතු බවත් ඒ සඳහා විදේශීයකයන්ටද සම්බන්ධවීමේ හැකියාව පැවතිය යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.

මෙහිදී චක්‍රලේඛණයකට අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වන බව පැමිණ සිටි නිලධාරීහු පැවසූහ. නමුත් මීට වඩා විධිමත් ආකාරයෙන් විවෘත වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන සකස් විය යුතු බව මෙම කමිටුවේ සභාපති නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

තවද විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙහිදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ව්‍යවස්ථාදායකය ලබාදෙන ඹ්නෑම නිර්දේශයක් අනුව අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවයි. එසේම මාර්ගගත (on-line registration) තාක්ෂණය ඔස්සේ ඡන්දය ලබාදීමට ලියාපදිංචිවීමේ ක්‍රමවේදයක් ද මේ වන විට සකස්කොට ඇති බව බවත්, ඒ ඔස්සේ විදෙස් ගත ලාංකිකයන්ටද ඡන්දය ලබාදීම පිණිස ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්නේය. මේ අනුව කථානායකවරයා සමගද සාකච්ඡා කොට මේ වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීම පිළිඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා කාරක සභාවේ සමාජිකයන් වන (මහාචාර්ය) ජී. එල්. පීරිස්, නිරෝෂන් පෙරේරා, නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්, අකිල එල්ලාවල, කෝකිලා ගුණවර්ධන, යදාමිණී ගුණවර්ධන, නීතිඥ මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වු අතර පාර්ලිමේන්තු මන්ත්‍ර චන්දිම වීරක්කොඩි මහතා කාරක සභාවේ සභාපතිගේ අවසරය මත මෙම රැස්වීම සඳහා සහභාගී විය.