Tuesday, October 22, 2024
Follow Us
ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලනෝයී විශ්වවිද්‍යාලය (University of Illinois) හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රය විෂයෙහි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කරගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (09) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේ දී සිදු විය.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඇමරිකානු රජය වෙනුවෙන් එරට ඉලනෝයී සරසවියේ පශූ වෛද්‍ය විද්‍යාලයීය පීඨාධිපති පීටර් ‍කොන්ස්ටබල් (Peter Constable) මහතා අත්සන් කළේ ය.

දෙරටෙහි පර්යේෂණ හා වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළ ව අත්සන් තැබුණු මෙම ගිවිසුම අනුව පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය, සත්ව ආහාර, සත්ව ඖෂධ හා පශූ ශල්‍යකර්ම යන ක්ෂේත්‍රවල විශේෂ ආධ්‍යාපනික වර්ධනයක් අපේක්ෂා කරන අතර ම දෙරට අතර අදාළ තොරතුරු හා තාක්ෂණික දැනුම් හුවමාරුවක් සිදු කරගැනීමට ද අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥ සිවා සිවනාදන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු එක් ව සිටියහ.