Wednesday, October 23, 2024
Follow Us
ජපානයේ විදේශ කටයුතු ඇමැති අද දිවයිනට

ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි දෙදින නිල සංචාරයක් සඳහා අද (28) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තනාපති කාර්යයාලයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.


මීට මාස දෙකකට පෙර සිදු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ටෝකියෝ සංචාරයේ පසු විපරමක් ලෙස ජපාන රජයේ සම සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ ද්විපාර්ශ්වික සහයෝගිතා ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ජපාන විදේශ අමාත්‍යවරයා සවිස්තරාත්මක සාකච්ඡාවක නිරත වනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.


අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකා-ජපාන සබඳතාවලට ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවූයේ කෙසේදැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළ බවත්, ජනාධිපතිතුමාගේ ජපාන සංචාරයේ සබඳතාවන් ට සමගාමීව යමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාට අකිතා ප්‍රාන්තයේ සංචාරය කරන ලෙස ජපාන විදේශ අමාත්‍යවරයා විසින් කරන ලද පෞද්ගලික ආරාධනයකට අනුව තානාපති පෙරේරා මහතා හයාෂි මහතා හමු වී ඇත.

එහිදී අමාත්‍යවරයා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමඟ ඇතිකරගත් සබදතාවලදී, දෙරට අතර මාස කිහිපයකට පෙර අත්සන් කරන ලද ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණය (JCM) යටතේ පවතින විභව ව්‍යාපෘති ගවේෂණය කිරීම සඳහා ජපානයේ සිට ශ්‍රී ලංකාවට ඉහළ මට්ටමේ අමාත්‍ය සංචාරයක වැදගත්කම පිළිබඳව තානාපති පෙරේරා ජපාන පාර්ශ්වයට ඒත්තු ගන්වා ඇත. වර්ධනය වන ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රය යටතේ වැදගත් ක්ෂේත්‍ර ලෙස, පුනර්ජනනීය බලශක්ති, සමුද්‍රීය සහයෝගීතාව සහ පෞද්ගලික අංශයේ සම්බන්ධතාවය ඉහළ නැංවීම සඳහා අන්‍යෝන්‍ය උත්සාහයන් යටතේ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණෙන බව සඳහන්.


සාමාජිකයින් 20කට වැඩි දූත පිරිසක් සමඟ සිදුවන ජපාන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය, පසුගිය වසරේ සිට දකුණු ආසියානු කලාපයෙන් පිටත රටකින් ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉහළ මට්ටමේ සංචාරය ලෙසද සලකන බවත්, එමගින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතාවල විෂය පථය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කර තිබේ.
සංචාරය අතරතුර දි ජපාන විදේශ අමාත්‍යවරයා සහ දූත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.