Wednesday, October 23, 2024
Follow Us
බීමතින් රිය පදවා අනතුරක් සිදු කළ නවසීලන්ත අධිකරණ ඇමැතිනි අස් වෙයි

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් නවසීලන්තයේ අධිකරණ ඇමැතිනි කිරිටාපු ලින්ඩ්සේ ඇලන් සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

39 හැවිරිදි කිරිටාපු පසුගියදා වෙලිංටන් නුවරදී සිය මෝටර් රථය පදවා යමින් සිටියදී තවත් මෝටර් රථයක ගැනීමෙන් අනතුර සිදු වී ඇති අතර, ඒ මොහොතේ අධිකරණ ඇමැතිවරිය බීමතින් සිටි බව පරීක්ෂණයකින් හෙළි වී ඇතැයි වාර්තා වේ. පසුගිය ඉරිදා රාත්‍රියේ එම අනතුර සිදුවීමෙන් කිසිදු ජිවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා නොවූවද, අධිකරණ ඇමැතිවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය හතරක කාලයක් පොලිසියේ රඳවා තබාගෙන සිටි බවත්, පසුව ඇය නිදහස් කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඇය පසුගිය දින කිහිපය පුරා දැඩි මානසික ව්‍යාකූලත්වයෙන් පීඩාවට පත්ව සිටි බවත්, එම තත්ත්වය මත නිවාඩු ලබා සිටි බවත් පසුව අනාවරණය වී තිබේ. අධිකරණ අමාත්‍යාංශය භාර ඇමැතිවරිය මෙවැනි වරදකට හසුවීම අතිශයින්ම ලජ්ජාසහගත බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ද වාර්තා වේ.

-Dinamina