Wednesday, October 23, 2024
Follow Us
සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක මෙරට ආයෝජන අවස්ථා

සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජනවලට විශාල අවස්ථා පවතින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ මෙරට ක්ෂේත්‍ර රැසක කළ හැකි ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට චීන ව්‍යවසායකයන් පිරිසක් අරලියගහ මන්දිරයේදී පසුගියදා (13) හමු වූ අවස්ථාවේදීය.

සීමාසහිත දගුඕවෙන් කල්චර්හි (Daguowen Culture Co) සභාපති ස්හෑන්ග් කිව්හුවා (Zhang Qihua) පැවසුවේ ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව හා ගෝලීය තිරසර සංවර්ධන ප්‍රවර්ධනය සමඟ තමා කටයුතු කරන බවයි. චීනයෙන් මිලියනයකට අධික සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවත් හෙතෙම කීවේය.

ස්හෙජිඈන්ග් (Zhejiang) ප්‍රසිද්ධ කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනි ජින් මෙයි යැන්ග් (Jin Mei Yang) මහත්මිය ශ්‍රී ලංකාවේ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා සහාය වීමට මෙහිදී කැමැත්ත පළ කළාය.

මානව සෞඛ්‍යයට මානව අක්මා සෛල සහ මැණික් ගල් අතර ඇති සබඳතාව පිළිබඳ ගවේෂණය කරනු ලබන වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් වන වුක්සින් ගෘප් (Wuxin Group) හි සභාපතිනි ක්සි යූයු (Xie Yueyu) මහත්මිය පැවසුවේ පිළිකා සුව කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ ශාඛාවක් පිහිටුවීමට තමන් උනන්දු වන බවයි.

මේ දූත පිරිසට, ලැන්ස්හො ජෙනරල් මෙෂින් මැනුෆැක්චරින්හි (Lanzhou General Machine Manufacturing Co.), සාමාන්‍යාධිකාරී ෂැන්ග් ෂියාඕමේ (Zhang Xiaomei) මහත්මිය, (නව බලශක්ති තාක්ෂණය සඳහා හයිඩ්‍රජන් බලශක්ති කාර්මික උද්‍යානය – ෂැන්ග්ඩොන්ග් ජූජින්ලොන් (Shandong Jujinlong) සමූහයේ සභාපති ලී ෂෙන්ග්වෝ (Li Zhengguo) මහතා, ෂෙන්සෙන් සොන්ග්ඩියෑන් කෝ ටෙක්නොලොජි සමාගමේ (Shenzhen Zhongdian Core Technology Co., Ltd) සභාපති ෂූ වෙන්ලොන්ග් (Zhou Wenlong) මහතා, එහි විධායක සහකාර ලී මින් මෙණෙවිය, ඇන්තනී වෝල්ටර් පියානෝහි (Anthony Walter Piano) සභාපති සහ Wuxin මහජන සුබසාධන පදනමේ (ජාත්‍යන්තර කලා හා සංස්කෘතික සහයෝගීතාව) විධායක සභාපති ගෝ ටින්ටින් (Guo Tingting) මෙණෙවිය සහ Wuxin සමූහයේ (හදිසි චීන වෛද්‍ය ආධාර සහ චීන රෝහල් සමඟ සහයෝගීතාව), සාමාන්‍යාධිකාරී (ෂියාවෝ ලින්ග්) Xiao Ling මහත්මිය ඇතුළත්ය.