Wednesday, October 23, 2024
Follow Us
විදේශ ඇමැති ARF සංසදයට සහභාගි වෙයි

අද (14) ආරම්භ වන  30 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්.අලි සබ්රි මැතිතුමා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව යෑමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

1994 වසරේ දී තායිලන්තයේ දී ආරම්භ කරන ලද ආසියානු කලාපීය සංසදය යනු ආසියා-පැසිෆික් කලාපය කේන්ද්‍ර කර ගත් ආරක්ෂක සංවාද යාන්ත්‍රණයකි. එය කලාපීය සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය කෙරෙහි එල්ල වන අභියෝග හඳුනා ගනිමින් පාර්ශ්වකරුවන් සමඟ ප්‍රතිලාභදායක, විවෘත සහ අන්තර්ග්‍රහණීය සංවාදයක් පැවැත්වීමට කටයුතු කරන අතරතුර සාමූහික ප්‍රයත්න හරහා කලාපීය සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි. ආසියානු කලාපීය සංසදයට සාමාජික රටවල් 27 ක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකාව 2007 වසරේ සිට එහි සාමාජිකත්වය දරයි.

ASEAN හි වත්මන් සභාපතිත්වය දරන ඉන්දුනීසියාව, ආසියානු කලාපීය සංසදයේ 30 වැනි සංවත්සරය සැමරීම සඳහා "ASEAN Matters: Epicentrum of Growth" යන තේමාව යටතේ මෙවර සංසදය සඳහා සත්කාරකත්වය සපයයි. මෙහිදී, ආසියානු කලාපීය සංසදයේ 30 වැනි සංවත්සරය සැමරීම සහ කලාපයේ දැවෙන ගැටලු සහ ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමේ දී විශ්වාසය ගොඩනැගීමේ පියවර හඳුනාගැනීම සහ එම ගැටළු වැළැක්වීම සඳහා ඉවහල් වන රාජ්‍යතාන්ත්‍රික කටයුතු වර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කෙරේ.


විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 30 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වීම සඳහා ජකර්තා හි රැඳී සිටින කාලය තුළ සිය මිත්‍ර පාර්ශ්ව කිහිපයක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.