Wednesday, October 23, 2024
Follow Us
ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට පිරිනැමේ

පිළිකා ඖෂධ හා කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3 ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඊයේ (12) භාරදුන්නාය.

ඒ අනුව මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යංශයේදී නිල වශයෙන් භාරදී තිබේ.

අදාළ ඖෂධ අතර කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටිස් රෝග හා පිළිකා සඳහා වන ඖෂධ වර්ග 16 ක් පමණ ඇතුළත් වේ. ඇමරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් වන මෙය ඇමරිකානු ජාත්‍යන්තර සංවිධානයක් වන Direct Relief ආයතනය හරහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් Medical Help International ආයතනයේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙනු ලැබීය.
Medical Help International ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන අධ්‍යක්ෂ පැඩී දිසානායක මහත්මිය හා එම ආයතනයේ ශ්‍රී ලංකා ව්‍යාපෘති නියෝජිත දිලිනි ද සිල්වා මහත්මිය මෙම පරිත්‍යාග සිදු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කර තිබේ.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ සෑම රටක්ම මෙම අර්බුදකාරි අවස්ථාවේ තම උපරිම ත්‍යාගශීලීත්වය මනාව ඔප්පු කරමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ආධාර උපකාර ප්‍රමාණයක් ලබාදුන් බවයි. ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවය නැංවීම, සෞඛ්‍ය තොරතුරු පද්ධති වැඩි දියුණු කිරීම ආදී ක්ෂේත්‍ර මෙන්ම පිළිකා රෝගයෙන් පීඩාවට පත්ව සිටින රෝගී දරුවන්ට තම දෙමාපියන් හා එක්ව සිටීමට පහසුකම් සහිත වාට්ටු ඒකකද විවිධ සංවිධානවල සහ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර මත ඉදිකර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඉදිරියටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව අනෙකුත් අංශ කෙරෙහි ද අවශ්‍ය ආධාර උපකාර ඇමෙරිකානු රජය විසින් ලබා දීමට නොපැකිළව ඉදිරිපත් වන බව ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ චං (Julie J.Chung)මහත්මිය මෙහිදී පැවසුවාය.