Wednesday, October 23, 2024
Follow Us
ඉන්දියාව ගෝලීය ආර්ථිකයේ වේගවත් ගමනක

ගෝලීය පරිසරයේ සැලකිය යුතු අභියෝග නොතකා ඉන්දියාව පසුගිය වසරේදී ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවට පත් වී ඇතැයි ලෝක බැංකුවේ විශ්ලේෂණයකින් අනාවරණය වී තිබේ.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දියාව ගෝලීය ආර්ථිකය සමඟ ඒකාබද්ධව සිය ආර්ථිකය වර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයි ද ඒ අනුව පසුගිය වසරේදී එරට දේශීය දළ නිෂ්පාදනය 7% කින් ඉහළ ගොස් ඇතැයි ද ලෝක බැංකු වෙබ් අඩවියේ එම විශ්ලේෂණයේ සඳහන් වී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 සහ 2021 මූල්‍ය වර්ෂයේදී ලොව සෙසු රටවල් හා සමානව ඉන්දියාවේ පහත වැටී තිබූ දේශීය දළ නිෂ්පාදනය භූ දේශපාලන ආතතීන් ඉහළ යෑම, සැපයුම් මාර්ගවලට බාධා සිදුවීම හා උද්ධමන පීඩනය ඇතුළු අභියෝග රැසක් මැද පසුගිය වසරේදී ආර්ථිකය වර්ධනය කර ගැනීමට සමත් වී ඇතැයි ද ලෝක බැංකුව කියයි.

‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත් සේවය සඳහන් කරන්නේ එම වර්ධනය ඉන්දීය ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 3.3 දක්වා ඉහළ දමා ඇති බවය. එමෙන්ම ඉදිරි වසර කිහිපය ඇතුළත එය ඩොලර් ට්‍රිලියන 5ක ඉලක්කය සපුරා ගැනීමට කදිම වේදිකාවක් ද තනා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ. එම වාර්තාවට අනුව ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය මේ වසරේ පළමු කාර්තුව වන ජනවාරියේ සිට මාර්තුව දක්වා කාලය තුළදී ද 6.1% කින් ඉහළ ගොස් ඇත. එය 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා බලාපොරොත්තු වූවාට වැඩි ඉහළ යෑමක් බවත් එහි සඳහන් වී තිබේ. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සහ ආයෝජන සඳහා දේශීය දායකත්වය පුළුල්වීමත්, බාහිර වෙළෙඳ හිඟය පහත වැටීමත් ඊට හේතු වී ඇතැයි ආර්ථික විශේෂඥයකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. ලොව ප්‍රධානතම ආර්ථිකයක් කරා ගමන් කරමින් සිටින ඉන්දියාව අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ සංවර්ධන ක්ෂේත්‍රය තුළ නව පුනරුදයක් ඇති කිරීමට ඉවහල් වී ඇතැයි ද එය අමෙරිකාවේ සහ යුරෝපයේ රටවල පවා වැඩි අවධානයට ලක් වී ඇතැයි ද වාර්තා වේ. ලෝක බැංකුවේ වාර්තාවට අනුව පසුගිය දශක දෙක තුළ ඉන්දියාව දරිද්‍රතාව අවම කිරිමට කැපී පෙනෙන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර, ඉන් සැලකිය යුතු ප්‍රගතියක් ද අත්කරගෙන තිබේ. එම තත්ත්වය කොවිඩ් වසංගතය හමුවේ අඩාළ වුවද යළි එය වේගවත් ලෙස සිදු කෙරෙමින් පවතී.

වසර 2047 වන විට ඉහළම ආදායම් ලබන තත්ත්වයට පත්වීමේ ඉන්දීය අභිලාෂය එරට සාමාන්‍ය පන්තියේ ජනතාව මත පදනම් වූ ලබා ලබා දෙන වර්ධන ක්‍රියාවලියක් හරහා සාක්ෂාත් කරගත යුතු බව ද ලෝක බැංකුව සඳහන් කර ඇත. ඒ සඳහා ඉටු කරගත යුතු ඉලක්ක කිහිපයක් ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. කාන්තා ශ්‍රම බළකාය වර්ධනය කිරීම ඒ අතුරින් කැපී පෙනේ.

-Dinamina