Wednesday, October 23, 2024
Follow Us
නෙදර්ලන්තයේ පාසල් දරුවන්ට ජංගම දුරකතන තහනම්

පාසල් පන්ති කාමර තුළ ජංගම දුරකතන, ටැබ්ලට් සහ ස්මාර්ට් අත් ඔරලෝසු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ. මේ තහනම 2024 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද එරට රජය නිවේදනය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ යැවීම සහ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසු සිසුවියන්ගේ අවධානය වෙනතකට යොමු වන බැවින් මේ තහනම පැනැවීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.
පාඩම් සඳහා අවධානය යොමුවීම පහත වැටීම සහ නොයෙකුත් ආබාධවලට ලක්වීම ද මෙහිදී අවධානයට යොමු වී ඇති අතර, වෛද්‍ය හේතු මත ආබාධ සහිත පුද්ගලයන් සහ විශේෂිත පාඩම් සඳහා ඇති අවශ්‍යතාව මත පමණක් ඊට අවසර හිමිවන බවද වාර්තා වේ.
ජංගම දුරකතන ජන ජීවිතයට බද්ධ වී තිබුණ ද, පන්ති කාමරවලට ඒවා අවශ්‍ය නැති බැවින් සිසු සිසුවියන්ට අධ්‍යාපනය සඳහා අවධානය යොමු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සැලකිල්ලට ගනිමින් මේ තහනම පැනැවීමට තීරණය කළ බව නෙදර්ලන්තයේ අධ්‍යාපන ඇමැති රොබට් ඩික්ග්‍රාෆ් ප්‍රකාශ කර ඇත.