Wednesday, October 23, 2024
Follow Us
ලුම්බිණිය වෙත ඍජු ගුවන් ගමන් හඳුන්වා දෙන ලෙස නේපාල‍යෙන් ඉල්ලීමක්

බෞද්ධ සිද්ධස්ථානයක් වන ලුම්බිණිය වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම සඳහා බෞද්ධ රටවල් විසින් ලුම්බිණි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඍජු ගුවන් ගමන් හඳුන්වා දිය යුතු බව නේපාලයේ හිටපු අගමැති සහ නේපාල කොමියුනිස්ට් පක්ෂ සභාපති වන මාධව් කුමාර් නේපාල් මහතා පැවසුවේය.

කත්මණ්ඩු සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් දැනටමත් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා බලධාරීන්ට එය ලුම්බිණියේ සිට කොළඹ දක්වා දීර්ඝ කළ හැකි බවත් එමගින් බුදුන් උපන් දේශය වන්දනා කරන සංචාරකයින් විශාල සංඛ්‍යාවකට පහසුකම් සැලසීමට හැකි බවත් ඊයේ (05) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේදී මාධව් කුමාර් (Madhav Kumar) මහතා සදහන් කළේය.

කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම හා කර්මාන්ත සහ ජල විදුලිය වැනි නව ක්‍ෂේත්‍රයන්හි එකිනෙකාගේ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම වැනි කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

මාධව් කුමාර් නේපාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 80ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සමුළුවට සහභාගී වීමටය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ නේපාල තානාපති බාෂු දේව් මිශ්‍රා (Bashu Dev Mishra ) යන අය මෙම හමුවට සහභාගි වූහ.