Wednesday, October 23, 2024
Follow Us
මෙරට ජල සම්පාදනයට ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ ටකෆුමි කඩොනො මහතා (Takafumi kadono) අතර අද (05) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රෙයේ සැලසුම්, අධීක්ෂණ රාමුව සහ ඊට අදාළව මේවන විට ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳ එහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

මෙම කටයුතුවල ප්‍රගතිය මාසිකව සමාලෝචනය කිරීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් සාගල රත්නායක මහතා වැඩසටහන සාර්ථක කර ගැනීමට ආසියනු සංවර්ධන බැංකුව මගින් ලබාදෙන සහාය පිළිබඳ ස්තූතිය පළ කළේය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස් . සමරතුංග යන මහත්වරු ඇතුළු අදාළ ආයතනවල රාජ්‍ය නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ