Wednesday, October 23, 2024
Follow Us
ඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහනමක්

තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ කාන්තා රූපලාවන්‍යාගාර තහනම් කළ බව එරට ගුණධර්ම පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශක මොහොමඩ් අකිෆ් මහජාර් නිවේදනය කර තිබේ.

ඔහු නියෝග කර ඇත්තේ තලේබාන් නායකයාගේ නව නියෝගය ක්‍රියාත්මක කරමින් කාන්තා රූපලාවන්‍යාගාරවල බලපත්‍ර අවලංගු කරන ලෙසයි.

ඒ සමගම එම රූපලාවන්‍යාගාරයන්හි සේවය කළ කාන්තාවන්ට තම රැකියාව ද අහිමිව ඇති අතර ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරෙමින් පවතින බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් ත්‍රස්තවාදීන් මීට පෙර ගැහැණු දරුවන්ට සහ කාන්තාවන්ට පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන සංවිධානවල සේවය, උද්‍යාන, සිනමා ශාලා සහ වෙනත් විනෝදාස්වාද පොදු ස්ථානවලට යාම තහනම් කළේය.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනුයේ තලේබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගන් ගැහැණු දරුවන්ට සහ කාන්තාවන්ට සීමා පැනවීම ජාතික හා ජාත්‍යන්තර දැඩි විරෝධයක් එල්ලවී ඇති බවයි.

Dinamina