Wednesday, October 23, 2024
Follow Us
රුමේනියාවේ දූත පිරිසක් හා කතානායකවරයා අතර හමුවක්

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුමේනියාවේ රාජ්‍ය ලේකම් සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ට්‍රෙයන් හිරිස්ටියා (Traian Hristea) මහතා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුවිය.

මෙම දූත පිරිසට රුමේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඩයනා ටේස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කවුන්සිලර් බෝග්ඩන් අල්ටියා සහ ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපති ආචාර්ය වික්ටර් චියුජ්ඩියා යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය ලේකම් ට්‍රේයන් හ්‍රිස්ටියා සිය ප්‍රසාදය පළ කළ අතර දෙරට අතර ශක්තිමත් සබඳතාවක් ඇති කිරීමට මෙය ඉතා වැදගත් බවද සඳහන් කළේය.

තවද මෙමඟින් කම්කරු අංශය, අධ්‍යාපන, වෙළෙඳ, ආයෝජන, සයිබර් ආරක්‍ෂාව, තොරතුරු තාක්‍ෂණය සහ සංචාරක යනාදී බොහෝ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගිතාව සඳහා මඟ සැලසෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලාංකිකයින්ට රුමේනියාවේ සේවය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව කෘතවේදීත්වය පළ කළ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකා - රුමේනියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ආරම්භ කර ඇති බවත් ඒ හරහා ඉදිරියේදී තවදුරටත් සබදතා තර කර ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. එසේම, රුමේනියානු පාර්ලිමේන්තුවේ කථානායක තුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ලෙස ද කථානායකවරයා ආරාධනා කළේය.

මීට අමතරව, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, විශ්වවිද්‍යාල අතර අවබෝධය, රැකියා සඳහා යන අයගේ වීසා ක‍්‍රියාවලියේදී මතුවන ගැටලු ඇතුළු කරුණු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම හමුවට ශ්‍රී ලංකා - රුමේනියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය (ආචාර්ය) සුරේන් රාඝවන් සහ අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිනි ගුණවර්ධන, මධුර විතානගේ, වේලු කුමාර්, ෂානක්කියන් රාසමාණික්කම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.