Wednesday, October 23, 2024
Follow Us
මහකොමසාරිස්වරු තිදෙනෙක් තානාපතිවරු හතක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ මහකොමසාරිස්වරු 03ක් සහ තානාපතිවරු 07ක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද, පැනමා ජනරජය, බෙල්ජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව, පේරු ජනරජය සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව අලුතින් පත්ව පැමිණි මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් අතර ආචාර්ය රොජර් ගෝපෝල් මහතා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස ද එලිජියො ඇල්බර්ටො සලස් ඩි ලියොන් පැනමා ජනරජයේ තානාපතිවරයා ලෙසද පත්කර තිබෙන අතර ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් මහතා බෙල්ජියම් රාජධානියේ තානාපතිවරයා ලෙසද පත්ව සිටිති.

මහාචාර්ය ජොයිස් කේ කිකාෆුන්ඩා මහත්මිය උගන්ඩා ජනරජයේ මහ කොමසාරිස්වරිය ලෙස ද දිමිත්‍රියස් ලොනව් මහතා, හෙලනික් ජනරජයේ තානාපතිවරයා ලෙසද ආචාර්ය බාසාම් අල්-කතිබ් සිරියානු අරාබි ජනරජයේ තානාපතිවරයා ලෙස ද පත්ව සිටිති.

ඊට අමතරව ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් මහතා පේරු ජනරජයේ තානාපතිවරයා ලෙසද ලී මියොන් මහත්මිය කොරියානු ජනරජයේ තානාපතිවරයා ලෙස ද පත්කර සිටින අතර ඉස්ට්වාන් සැබො මහතා හංගේරියාවේ තානාපතිවරයා ලෙස ද ලලාටියානා ඇකෝචේ මහත්මිය සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්වරිය ලෙස ද ශ්‍රී ලංකාවට පත්කර ඇත.

විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා ද මේ අවස්ථාවට එක්විය.