Wednesday, October 23, 2024
Follow Us
අධ්‍යාපන ඇමැති සහ USAID අතර හමුවක්

අධ්‍යාපනයේ ව්‍යුහාත්මක හා ගුණාත්මක පරිවර්තනයක් සිදු කිරීම සඳහා අධ්‍යාපන තාක්ෂණවේදය, විද්‍යාව හා තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.


ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය හා සහයෝගික අවශ්‍යතාවන් පිළිබඳව වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
තව ද එම සාකච්ඡාවේ දී එම නියෝජිත ආයතනය (USAID) විසින් ලංකාවට ලබා දී ඇති ආධාරවල ප්‍රගතිය සමාලෝචනය කර ඇති අතර පවතින අන්තර් සහයෝගිතාව වැඩි දියුණු කිරීම සඳහා නව ප්‍රවේශයන් සොයා බැලිණි. තව ද ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන පාර්ශ්වකරුවකු වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ලංකාවේ තිරසර සංවර්ධන කාර්යන් සඳහා ආධාර සපයන බැවින් මෙම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශේෂයෙන් ම පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව පවත්වාගෙන යාම සඳහා ඵලදායී ලෙසින් දායක වී ඇත.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට සහභාගි වූයේ, කැනඩාවේ වැන්කුවර් නගරයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සංසදයේ පාලක මණ්ඩල රැස්වීමට සහභාගි වීමට යන අතරවාරයේ දීය.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සංසදයේ පාලක මණ්ඩලයෙහි ආසියානු කලාපය නියෝජනය කිරීම සඳහා තෝරා පත් කර ගන්නා ලද්දේ මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ය. මෙහි දී දුරස්ථ අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ විෂය සහ විෂයමාලා සංවර්ධනය කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රාශියකට සහභාගිත්වය ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.