Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකාවට ලැබෙන GSP ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට රුමේනියානු සහාය

රුමේනියානු අගනගරය වන බුකරෙස්ට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී (Traian Hristea) මහතා ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කළේය.

ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගීතාව, ආයෝජන සහ රැකියා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2023.06.25 වැනි දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී රුමේනියානු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් රුමේනියානු රජයට අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළ අතර රුමේනියාව 2016 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන්ගේ වඩාත් ජනප්‍රිය රැකියා ගමනාන්තය වේ. එහි ඇඟලුම්, ඉදිකිරීම්, හෝටල් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය 32,000 කට වඩා වැඩි බව වාර්තා වේ.

රුමේනියාව මේ වන විට මහා පරිමාණ යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරමින් සිටින බැවින් එමගින් ශ්‍රී ලාංකිකයන් සඳහා අමතර රැකියා අවස්ථා හිමිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ට්‍රයින් රිස්ටී මහතා මෙහිදී පැවසීය.

අධ්‍යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා රුමේනියාවෙන් ඉල්ලා සිටියේය. වත්මන් ආර්ථික අර්බුදයට අදාළ ගැටළු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කළ ඔහු යුරෝපා සංගමයේ අඛණ්ඩ සහාය මෙරටට අවශ්‍ය බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා GSP ප්ලස් තීරුබදු සහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදුකරන ඉල්ලීමට තම රට සහාය දෙන බවට රුමේනියානු රාජ්‍ය අමාත්‍යවරයා සහතික විය.