Wednesday, October 23, 2024
Follow Us
කරච්චි වරාය එමිරේට්ස් රජයට

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්තානය හදිසි අරමුදලක් රැස් කිරීමට අවධානය යොමු කර තිබේ.

එරට එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේ කරාච්චි නුවර වරාය පර්යන්තය එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ලබා දීමෙන් රටේ ආර්ථිකයට යම් ශක්තියක් ලබා ගැනීම රජය කටයුතු කරනු ඇති බවය. ඒ සඳහා වාණිජ කමිටුවක් ද මේ වන විට පත් කර ඇතැයි පසුගියදා පාකිස්තාන මුදල් ඇමැති ඉෂාක් ඩාර් ප්‍රකාශ කර තිබේ. පාකිස්තානය මෙවැනි ගිවිසුමක් සම්බන්ධව අවධානය යොමු කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් තවදුරටත් ප්‍රමාද වීම සැලකිල්ලට ගෙන බවත්, රටේ පවතින ආර්ථික අවිනිශ්චිතභාවය හමුවේ හදිසි අරමුදලක අවශ්‍යතාව දැඩිව පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කරාච්චි නුවර වරාය පර්යන්තය පැවැරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය නම් කරනු ලබන නියෝජිතායතනයක් සමඟ දෙරට අතර එකඟතාවක් ඇති කර ගැනීමට ද තීරණය වී ඇත. ඒ යටතේ කරාච්චි වරායේ මෙහෙයුම්, නඩත්තුව, ආයෝජන හා සංවර්ධන ගිවිසුම් කෙටුම්පත් කිරිමට ද අවසර ලැබී ඇතැයි පාකිස්තාන එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වුවද මේ ගිවිසුම ජනතාව අතර හා විපක්ෂය අතර දැඩි ආන්දෝලනයකට තුඩුදෙනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇති අතර, ඊට දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි ද දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. රාජ්‍ය වත්කම් විකිණීම අරමුණු කරමින් මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට එරෙහිව විවිධ පාර්ශ්ව උද්ඝෝෂණ හා විරෝධතා රැලි පවත්වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ. පාකිස්තාන රජය මේ වන විට ආර්ථික වශයෙන් දැඩි පසුබෑමකට ලක්වී සිටින අතර, 2019 වසරේදී ඩොලර් බිලියන 6.5ක ණය මුදලක් සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආරම්භ කළ සාකච්ඡා මෙතෙක් සාර්ථක නොවීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී තිබේ. ණය මුදල ප්‍රමාද වීම සම්බන්ධව අගමැති ශෙබාස් ෂරීෆ් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රටවල් රැසක තානාපතිවරු සමඟ පසුගියදා සාකච්ඡාවක් ද පවත්වා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 9 වැනි සමාලෝචනය අවසන් කිරීමත් සමඟ අවම වශයෙන් ඩොලර් බිලියන 1.2ක ණය වාරිකයක් ලබා ගැනීමට රජය උනන්දු වන බව අගමැතිවරයා අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

Dinamina