Wednesday, October 23, 2024
Follow Us
අතුරුදහන් වූ සබ්මැරීනය ගැන හෝඩුවාවක්
සංචාරකයන් පිරිසක් රැගෙන ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන්වූ සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇත්තේ තවත් පැය 30 කටත් අඩු කාලයක් සඳහා පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එම සබ්මැරීනය මෙතෙක් සොයා ගැනීමට හැකි වී නොමැත.  අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පාර්ශ්ව කිහිපයක සහය ඇතිව සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුමක නිරතව සිටි.
    
මේ වන විට‍ සබ්මැරීනය සෙවීමට සෝනාර් උපාංග සහිත යාත්‍රා මෙන්ම, තවත් නවීන තාක්ෂණයෙන් යුත් යාත්‍රාංග කිහිපයක් එම ප්‍රදේශයේ ස්ථානගත කර තිබේ.  
 
කැනේඩියානු බලධාරීන් පවසන්නේ, සබ්මැරීනය අතුරුදන්වූ ප්‍රදේශයෙන් සෑම මිනිත්තු 30 කට වරක්ම, යම්කිසි වස්තුවක් ගැටෙන ශබ්දයක් ඇසෙන බවයි. ඒ ඔස්සේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබේ.
 
අමෙරිකානු, කැනේඩියානු මෙන්ම, ප්‍රංශ ගවේෂණ යාත්‍රාවක්ද සෝදිසි මෙහෙයුමට එක්ව සිටියි.
 
සබ්මැරීනයේ 5 දෙනෙකු ගමන් කර තිබේ. 58 හැවිරිදි ගවේෂකයෙකු වන හමීෂ් හාඩිං, පකිස්ථානයේ උපන් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙකු වන 48 හැවිරිදි ෂසාදා ඩාවුඩ්, 19 හැවිරිදි ඔහුගේ පුත් සුලෙයිමාන් ඩාවුඩ්, 77 හැවිරිදි ප්‍රංශ කිමිදුම්කරුවෙකු වන පෝල් හෙන්රි සහ සබ්මැරීනය අයත් ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටොක්ටන් රෂ් එම පුද්ගලයන්ය.