Thursday, October 24, 2024
Follow Us
ඊශ්‍රායලයේ රැකියා අවස්ථා 2000ක්

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2,000ක් මෙම වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ Shiely Raisin Sason, දූත මණ්ඩල සාමාජික Zindani Mary, Yaccow Kabilau, Margarita Gaorodnitsky ඇතුළු ඊශ්‍රායල නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම වසරේදී පමණක් සාත්තු සේවිකාවන් 2,000බඳවා ගැනීමට මෙලෙස එකඟතාවය පළ කර තිබේ.

ඊශ්‍රායලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සඳහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට බවද, පිරිමි සාත්තු සේවකයින් සඳහා පවන්නේ ඉතාමත් සීමිත අවස්ථාවන් ප්‍රමාණයක් බවද නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරියේදී සාත්තු සේවක පුහුණුව ලබාදීමේදී කාන්තාවන්ට පමණක් ප්‍රමුඛතාවය ලබාදෙන ලෙසද එම නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටියේය.

සාත්තු සේවක රැකියා සඳහා බඳවා ගැනිමේ ක්‍රමවේදය වඩාත් වේගවත් කිරීමේ වැදගත්කමද එම නියෝජිත පිරිස පෙන්වා දුන්හ. ඒ අනුව සාත්තු සේවක පුහුණුව සඳහා බඳවා ගැනීමේදී, රැකියා සඳහා පිටත්ව යාමේ මූලික සුදුසුකම් සපුරා ඇත්ද යන්න පිළිබඳ සැලකිලිමත්වී, අදාළ සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් පමණක් පුහුණුවට බඳවා ගැනීමට කටයුතු කරන බවට අමාත්‍යවරයා සහතික විය.
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහතිත, වෘත්තීමය වශයෙන් පුහුණුව ලබාඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සෑම විටම ඊශ්‍රායල් රැකියා අවස්ථා සඳහා අවස්ථාව ලැබෙන බවද, වසරකට අටදහසක් දක්වා වන ශ්‍රමිකයින්ට අවස්ථාව ලබාදීමට සූදානම් බවද ඊශ්‍රායල් නියෝජිතයෝ අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

විනිවිධභාවයකින් යුත් ක්‍රියාදාමයක් හරහා සාත්තු සේවිකාවන් පිටත් කර යැවීමේ වැදගත්කම දෙපාර්ශවයම පෙන්වා දුන්හ. ඊශ්‍රායල සාත්තු සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාදාමයේදී පුද්ගලික අංශය මාෆියාවක් ලෙස කටයුතු කරන ආකාරය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර බඳවාගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් එරට සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයින්ට එල්ලවන චෝදනා ගැනද අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය. ඇතැම් පුද්ගලයින් ඊශ්‍රායල් රැකියා ලබාදීමේදී මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ලවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සාත්තු සේවිකාවන් බඳවා ගැනීමේ අවස්ථාවන් පුද්ගලික අංශයට විවෘත කරන ලෙසට වන ඉල්ලීම්ද අමාත්‍යවරයා ඊශ්‍රායල නියෝජිතයින්ට ඉදිරිපත් කළේය. එයට ප්‍රතිචාර දැක්වූ නියෝජිත කණ්ඩායම පැවසුවේ සාත්තු සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාදාමය රාජ්‍ය ආයතනක් වන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත පමණක් සිදුකිරීමට කටයුතු කරන බවය.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා ලබාදීම සඳහා කිසියම් අතරමැදියෙක් මුදල් ලබාගන්නේ නම් ඒ සම්බන්ධයෙන් සියලුම තොරතුරු තමන්ට ලබාදෙන ලෙසට ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටියේය. එසේ තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවටද ඔවුහු සහතික වූහ. ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ක්‍රියාදාමය හරහා මුදල් ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව ඊශ්‍රායල නීතිය අනුව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවටද නියෝජිත කණ්ඩායම සහතික විය.

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සෑම විටම අවධානය යොමු කරන බවද, ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ට හිරිහැර සිදුවන බවට කිසිදු චෝදනාවක් එල්ලවී නොමැති බවද අමාත්‍යවරයා සදහන් කළේය.