Thursday, October 24, 2024
Follow Us
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගෙන ඇති මූලික පියවර තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම කාර්තුව නිම වීමට පෙර තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

තෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්ත රජය සමග ඇති කර ගන්නා මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් විශාල පරාසයකට රට විවෘත වනු ඇති බවත්, මෙම ගිවිසුම කඩිනම් කර ගැනීම සඳහා රජය සෑම උත්සාහයක්ම දරන බවද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.සියම් අමරපුර වැනි නිකාය ආරම්භ වී ඇත්තේ ද තායිලන්තයේ බවත් , මෙම බෞද්ධ සබැඳියාව නිසා ආගමික සංචාරක ඇති වීම ටද හොඳ අවස්ථාවක් බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තර අතර නිදහස් වෙළඳ ගිවිසුමේ මූලික කටයුතු 2016 වර්ෂයේ ආරම්භ කර තිබේ. දැනට පවතින ද්වී පාර්ශවික වෙළෙඳ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 550 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා වැඩි කර ගැනීමට රජය අපේක්ෂා කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, තායිලන්ත වෙළෙඳ ගිවිසුම දැනටමත් ඉබොහෝ ප්‍රමාද වී ඇති බවයි. මෙම ‍වෙළෙඳ ගිවිසුම සංචාරක ව්‍යාපාරය, විදේශ ආයෝජන, සහ වෙළෙඳපොළ ජයගැනීම සඳහා හොඳ අවස්ථාවක් වනු ඇතැයිද හෙතෙම පැවසීය.

ඒ අනුව මෙහි පළමු සාකච්ඡා වටය 2018 ජූලි මාසයේ සහ දෙවන සාකච්ඡා වටය 2018 සැප්තැම්බර් මාස වල තායිලන්තයේ බැංකොක් නුවරදී පවත්වා ඇත.

මෙහි තෙවන සාකච්ඡා වටය පසුගිය ජනවාරි මස 09 සහ 10යන දෙදින කොළඹදී පැවැත් වූ අතර එම සාකච්ඡා වටයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.