Thursday, October 24, 2024
Follow Us
මාලදිවයින් සහ පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන් සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සහ පාකිස්ථාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හීනා රබ්බානි ඛාර් ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතා ක්‍ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළ අතර කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගත්හ.

මෙරට 75 වැනි නිදහස් සංවත්සර උළෙලේදී තම රටවල් නියෝජනය කිරීම සඳහා පැමිණි ඔවුන් එම සංචාරය අතරතුර කොළඹ අරලියගහ මන්දිරයේදී මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමුවිය.

අමාත්‍යවරුන්ගේ ශ්‍රි ලංකා සංචාරය පිළිබඳව ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා, එමගින් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ප්‍රකාශ කළේය.
මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ දෙර‍ටම සංචාරකයින් අතර ජනප්‍රිය රටවල් වන බැවින් මාලදිවයිනට මෙන්ම ශ්‍රී ලංකාවට සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව වැඩි දියුණු කළ හැකි බවයි. ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් විසින් මාලදිවයින් හෝටල් ක්‍ෂේත්‍රයේ ආයෝජන කිහිපයක් සිදු කරන බවත්, ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන මෙම ක්ෂේත්‍රයේ තව තවත් විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට රටවල් දෙකකටම හැකියාව ඇති බවත් අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව විසින් මාලදිවයිනට ලබාදෙන අධ්‍යාපන, පර්යේෂණ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සහාය සම්බන්ධයෙන් මාලදිවයින් අමාත්‍යවරයා මෙහිදී සිය ස්තුතිය පළ කර සිටියේය.
පාකිස්තාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වෙළෙඳ පහසුකම්, ව්‍යාපාර සහ ආයෝජන, සංචාරක සහ ගුවන් සම්බන්ධතා සහයෝගිතාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සංසදවලදී පාකිස්තානය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ආචාර්ය ඛාර් මැතිණියට ස්තූතිය පළ කළේය.
දකුණු ආසියානු කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ඇය, අග්නිදිග ආසියාව, ගල්ෆ් කලාපය, අප්‍රිකාව, යුරෝපය සහ අනෙකුත් සියලුම කලාපීය සංවිධාන තම ජනතාවගේ යහපත සඳහා සහයෝගීතාවයේ වේගවත් ප්‍රගතියක් ලබා ඇති නමුත්, දකුණු ආසියාව ඒ අතින් පසුගාමී බව පැවසුවාය.