Thursday, October 24, 2024
Follow Us
කලාපීය සහයෝගිතාවය අවධාරණය කරයි

දකුණු ආසියාතික රටවලට එකිනෙකාගේ අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත හැකි බවත් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාර්ක්) දැනට පවතින අවහිරතා සමීප සහයෝගීතාවයට බාධා පමුණුවන බවත්  බංග්ලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුන් වන ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් සහ ආචාර්ය බිමලා රායි  අවධාරණය කරති. 

ඔවුහු මේ බව අවධාරණය ක‌ළේ 75 වැනි නිදහස් සංවත්සරයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතරවාරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීයි.

නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය පෞද්‍යාල් දෙරට අතර ඓතිහාසික ආගමික හා සංස්කෘතික සබඳතා ගැන සඳහන් කළ අතර, බුදුන් උපන් ස්ථානයට පැමිණෙන බෞද්ධයන් විශාල සංඛ්‍යාවකට පහසුකම් සැලසීම සඳහා කොළඹට සහ කත්මණ්ඩුවට සීමා වී ඇති ගුවන් සම්බන්ධතාවයට ලුම්බිණියේ ගෞතම බුද්ධ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළත් කර පුළුල් කළ යුතු බව පැවසීය.  නේපාලයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍රමවලින් බොහෝ දේ ඉගෙන ගත හැකි බව පෙන්වා දුන් ඇය සමීප සහයෝගීතාවක අවශ්‍යතාව අවධාරණය කළාය. දකුණු ආසියාවේ කුඩා රටවල් එකට නැගී සිටිය යුතු බව  ඇය පැවසුවාය.

බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් දකුණු ආසියානු අසල්වැසියන්  අතර පවතින ආංශික සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

අමාත්‍යවරුන් දෙදෙනාගේ සංචාරය පිළිබඳව ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා, මෙවැනි ඉහළ මට්ටමේ හුවමාරු කිරීම් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බව පෙන්වා දුන්නේය. වෙළෙඳ පහසුකම්, ව්‍යාපාර සහ ආයෝජන, සංචාරක ව්‍යාපාරයේ සහයෝගීතාව සහ සම්බන්ධතා පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණී.

සාර්ක් මහලේකම් ඇසල වීරකෝන් මහතාගේ වත්මන් ධූර කාලය ලබන මස අවසන් වන විට සාර්ක් සංවිධානයේ අනාගතය සහ නව සාර්ක් මහලේකම්වරයෙකු පත්කිරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, නේපාලයේ සහ බංග්ලාදේශයේ විදේශ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නේපාල තානාපති බාෂු දේව් මිශ්‍රා සහ බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam යන මහත්වරු ද මෙම සාකච්ඡා සඳහා සහභාගි වූහ.