Thursday, October 24, 2024
Follow Us
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය සහ ක්‍රීඩා ඇමැති අතර සාකච්ඡාවක්

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(02) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ.


2023 වර්ෂය උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතනවල සැලැස්ම හා එම කටයුතු අධීක්ෂණය කර පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් රටවල් සමඟ එම වැඩපිළිවෙළ හුවමාරු කර ගැනීමට මෙහී දී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ආසියා හා පැසිපික් කලාපයේ යොවුන් පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා මූලිකත්වය ගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අවස්ථාව ලබාදීම පිළිබඳ මහ ලේකම්වරිය සාකච්ඡා කර ඇත.
පාසල් ළමුන් අතර බෝ නොවන රෝග පාලනය කිරීම උදෙසා පාසල් කාල සීමාව තුළ හෝ ඉන් පසුව ක්‍රීඩා හෝ ශාරීරික සුවතා ව්‍යායාම සඳහා යොමු කිරීමට ද සාකච්ඡා කර ඇති අතර සියලුම පාසල් ළමුන් සඳහා එක් ක්‍රීඩාවක් හෝ අනිවාර්යය කිරීමත්, අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඒකාබද්ධව කටයුතු කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීමටත් මෙහි දී අවධානය යොමුව තිබේ.
ක්‍රීඩා හා තරුණ කටයුතු වර්ධනය කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම, අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාව උදෙසා අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
තරුණයින් සඳහා ශිෂ්‍යත්ව 200ක් ලබාදීමටත්, තරුණ කටයුතු හා ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන් සඳහා ශිෂ්‍යත්ව 200ක් ලබාදීමටත් මහ ලේකම්වරිය කැමැත්ත පළ කර ඇති අතර පාසල් හැර ගිය ළමුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ ලබාදීමට වැඩසටහන් ආරම්භ කිරීමත්, ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සඳහා තරුණ ප්‍රජාවට අවශ්‍ය පාරිසරික හා ආර්ථිකමය වාතාවරණයක් ගොඩනැගීමට අදාළව සහ දකුණු සහ අග්නිදිග ආසියානු තරුණයින් සඳහා කතිකාවතක් ගොඩනැගීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවන් ඔලිම්පික් සම්මේලනය මඟින් ක්‍රියාත්මක වන අතර එහි දී ඇතිවන ගැටලු අවම කර ගැනීම උදෙසා, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අවශ්‍ය සහයෝගය ලබාගැනීම පිළිබදව සාකච්ඡා කර ඇත.
මේ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජ්‍ය ලේකම් මහාචාර්ය ලුයිස් ෆැන්ෂෙස්ෂි (Luis Franceschi) මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.පී. මහේෂන් මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා මහතා ඇතුළු මහත්ම මහත්මීහු සහභාගී වූහ.