Friday, October 25, 2024
Follow Us
ප්‍රවාහන ඇමැති සහ රුසියානු තානාපතිවරයා විශේෂ සාකච්ඡාවක්

රුසියානු රජයේ මැදිහත් වීමෙන් මෙරට සිදුකිරීමට බලාපොරොත්තු වන නව ආයෝජන අවස්ථා පිලිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර පැවැත්විණි.

මෙහි දී මෙරට මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කෙරිණි.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාව වෙත දක්වන සහයෝගය පිළිබඳව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රුසියානු රජය වෙත කෘතඥතාව පළ කළ අතර ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයට අදාළව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන පරිදි රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන ව්‍යුහයක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද ඉල්ලා සිටියේය.


විදේශ කටයුතු අමාත්‍යංශයේ සහයෝගය ද ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම සිදුකිරීමට විශේෂ අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටියේ ය.
මෙම හමුව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා, රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.