Friday, October 25, 2024
Follow Us
කොරියානු ජනතාවගෙන් කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියානු රජයේ හා ජනතාවගේ සහයෝගයෙන් ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

කොරියානු සංවිධානයක් වන The Global Life Sharing ආයතනය මගින් එකතු කරනු ලැබූ මෙම පරිත්‍යාගයන් World Unreached People Mission සංවිධානයේ සම්බන්ධීකරණයෙන් හා සහයෝගයෙන් මෙදින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ආයතනයන්හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ දේවගැති ඒ.ෆ්‍රැන්සිස් මහතා විසින් නිල වශයෙන් භාර දුන්නේය.

අදියර කිහිපයක් ඔස්සේ පරිත්‍යාග කිරීමට නියමිත මෙම ඖෂධ හා ඖෂධ උපකරණ අතුරින් මෙලෙස පරිත්‍යාග කෙරුණු කෝටි 43 ක පළමු පරිත්‍යාගයේ අක්ෂි රෝග, බැක්ටීරියා ආසාදන, චර්ම රෝග , ප්‍රතිජීවක හා වේදනා නාශක ඖෂධ හා උපකරණ රැසක් පවතී.

ගෝලීය කොවිඩ් ව්‍යසනයේදී මෙන්ම රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක පරිසරය තුළ ජාත්‍යන්තර සංවිධාන හා ආයතන මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල සහයෝගයක් ලබා දුන් බවත් මේ වන විටත් එවැනි සහයෝගයන් ලැබෙමින් පවතින බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

විශේෂයෙන් කොරියානු රාජ්‍යයේ ජනතාව මෙන්ම World Unreached People Mission ආයතනය ඇතුළු මේ සඳහා දායක වූ සියලු පාර්ශවයන් වෙත අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය.