Friday, October 25, 2024
Follow Us
ලියාපදිංචි නැති ඉන්දීය සමාගමකින් බෙහෙත් ගේන්න කෙහෙළිය ඉන්දියාවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ වර්ග විසි අටක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ඉන්දියාවේ සමාගමකින් ආනයනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමැති මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන තිබේ.

අදාළ සමාගමෙන් ඖෂධ ගෙන්වීමේ මූලික වැඩකටයුතු උදෙසා සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඊයේ (21) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ඒ සඳහා වන සම්පූර්ණ වියදම දරා ඇත්තේද අදාළ ඉන්දීය සමාගම විසින් බව සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දීය ණය පහසුකම් යටතේ හිමිවූ ඇමරිකානු ඩොලර් මිලියන 46ක මුදලක් ඒ සඳහා භාවිත කිරීමට නියමිත බවද අනාවරණය වෙයි.

මේ දිනවල පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ අර්බුදයක් පවතී.

මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 151ක, ශල්‍ය උපකරණ ඇතුළු පරිභෝජන භාණ්ඩ 5268ක, රසායනික ද්‍රව්‍ය 850ක සහ විකිරණශීලි ද්‍රව්‍ය 18ක තොග නොමැති බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල ඔක්තෝබර් 25 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව ඇත.

එම නිසා ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් මාස තුනකට අවශ්‍ය ඖෂධ සැපයීමට එකඟ වී ඇති බව ද කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

අදාළ සමාගම විසින් නිෂ්පාදනය කරන ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති අතර, එම සමාගම තෝරාගත් ආකාරය ද කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව නොමැත.

තවද, තෝරාගත් වෙනත් සමාගම් කිහිපයකින් ද ඖෂධ මිලදී ගැනීමට එමගින් අවසර ඉල්ලා තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ඖෂධ සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතත්, ශ්‍රී ලංකාවේ භාවිත කරන ඖෂධවලට අනුමැතිය ලබාදෙන්නේ ඖෂධ නියාමන අධිකාරිය විසිනි.

යෝජිත සැපයුම්කරු තෝරාගෙන ඇත්තේ අත්‍යවශ්‍ය පදනම මත බැවින් මිල හා ගුණාත්මකභාවය පිළිබඳ සාකච්ඡා කළ යුතු බව මුදල් අමාත්‍යාංශය සිය නිරීක්ෂණ වලින් අනතුරුව දැනුම් දී ඇත.

එම කැබිනට් පත්‍රිකාව අනුමත කර ගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමැතිවරයා දෙසැම්බර් 5 වැනිදා යළිත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ වෙනත් සමාගමකින් ඖෂධ මිලදී ගැනීම උදෙසාය.

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි පෞද්ගලික සමාගමකින් ඖෂධ වර්ග ආනයනය වෙනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඖෂධ වර්ග 28ක් ගෙන්වීමට නියමිතය. මෙම සමාගමේ ඖෂධ ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර නොමැත.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය භාවිත කර ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දීය ණය පහසුකම් සම්බන්ධීකරණ අංශයක් ද මුදල් අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇත. ඊට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ද ලැබී ඇත.

ඖෂධ ලබාගැනීම සඳහා ලිපිගොනු දහසකට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, ඊට අනුමැතිය ලැබීමට දීර්ඝ කාලයක් ගතවී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

(අරුණ)