Friday, October 25, 2024
Follow Us
 දුම්බීම සම්පූර්ණයෙන් තහනම් කිරීමේ සූදානමක්

අනාගත පරපුර තුළ දුම්බීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා නවසීලන්තය නව නීතියක් හඳුන්වා දී තිබේ. මෙම නීතිය අනුව ලබන වසරේ සිට පියවරෙන් පියවර රට තුළ දුම් පානය අඩු කිරීම සඳහා කටයුතු කෙරෙනු ඇත.

මෙහි අවසන් අරමුණ වන්නේ ඉදිරියේදී දුම්බීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමයි. මෙම නීතිය ක්‍රියාවට නගනු ඇත්තේ දුම්වැටි මිල දී ගත හැකි අය සම්බන්ධයෙන් යම් සීමාවන් ක්‍රියාත්මක කිරීමෙනි.

 

මේ අනුව ලබන වසරේ වයස අවුරුදු 14 සහ ඊට අඩු අයට දුම්වැටි මිලදී ගැනීම තහනම් කෙරෙනු ඇත. මෙම වයස් සීමාව වසරෙන් වසර ඉහළ දමනු ඇති බව පැවසේ. මෙවැනි නීතියක් හඳුන්වා දුන් ලොව පළමු රට නවසීලන්තය බව සඳහන් වේ.

 

‘මේ නිසා දහස් ගණනක් දෙනාට වඩාත් සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කාලයක් ජීවත්වීමට හැකිවනු ඇති’ යැයි සහකාර සෞඛ්‍ය අමාත්‍ය අයේෂා වෙරල් පවසා තිබිණි. ‘එමෙන්ම දුම්බීම නිසා ඇතිවන පිළිකා, හෘදයාබාධ වැනි රෝග අඩුවීමෙන් සෞඛ්‍ය පද්ධතියට විශාල මුදලක් ඉතිරි වනු ඇතැයිද’ ඇය තවදුරටත් පවසා තිබුණාය. මේ තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වියදම් නවසීලන්ත ඩොලර් බිලියන 5කින් පමණ අඩු කර ගැනීමට හැකිවනු ඇතැයි පැවසේ.

 

දුම්වැටි මිලදී ගත හැකි අය සම්බන්ධයෙන් පනවන නීතිවලට අමතරව තවත් පියවර රැසක් ගැනීමට නියමිත බවද සඳහන්ය.

 

දුම්වැටිවල අඩංගු කළ හැකි නිකොටින් ප්‍රමාණය අඩු කිරීම සඳහා ද නීති පනවා ඇත. දුම්වැටිවලට ඇබ්බැහි වන මට්ටමට නිකොටින් අඩංගු කිරීම වැළැක්වීම මෙහි අරමුණයි.

 

එමෙන්ම ඉදිරියේදී මේවා අලෙවි කිරීමට අවසර ලැබෙනු ඇත්තේ විශේෂිත අලෙවිසල්වලට පමණි. සාමාන්‍ය වෙළෙඳසල්වලින් ඒවා මිල දී ගැනීමට නොහැකි වනු ඇත.

 

මේ වනවිට දුම්වැටි අලෙවි කරන වෙළෙඳසල් සංඛ්‍යාව 6,000ක් පමණ වන බව සඳහන් වේ. ඉදිරියේ දී එය 600ක් දක්වා අඩු කිරීමට නියමිතය.

 

දැනටමත් නවසීලන්තයේ දුම් පානය කරන්නන්ගේ සංඛ්‍යාව පවතින්නේ ඉතා අඩු මට්ටමකය. දිනපතා දුම්පානය කරන්නේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 8ක් පමණක් බව වාර්තා වේ. පසුගිය වසරේ එය සියයට 9.4ක් විය.

 

හඳුන්වා දීමට නියමිත නව නීති නිසා 2025 වනවිට මෙම ප්‍රතිශතය සියයට 5ට වඩා අඩු වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම නීතිවලට විරුද්ධව අදහස් දක්වන පාර්ශ්වද සිටියි.

පාර්ලිමේන්තුවේ ඇතැම් පක්‍ෂ පෙන්වා දී තිබුණේ මේ නිසා දුම්වැටි සම්බන්ධයෙන් කළුකඩ ජාවාරමක් ඇති වීමේ ඉඩක් ඇති බවයි.

Aruna