Friday, October 25, 2024
Follow Us
චීනයේ කොවිඩ් යළි සීග්‍රයෙන් ඉහළට

චීනයේ කොවිඩ් ව්‍යාප්තිය නැවතත් ඉහළ යෑමත් සමග රෝහල් රෝගීන්ගෙන් පිරී යාමට පටන්ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ නිසා එරට රෝහල් පද්ධතිය මත දැඩි පීඩනයක් එල්ල වීමට පටන්ගෙන තිබේ.

ඇතැම් රෝහල් ඔවුන්ගේ වාට්ටුවල ධාරිතා ඉහළ දැමීමට පසුගිය දිනවල පියවර ගෙන තිබිණි. නමුත් එම ඉඩකඩද වේගයෙන් පිරී යමින් පවතින බව වාර්තා වේ. මෙම තත්ත්වය තුළ කොවිඩ් ආසාදනය වී සිටින වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ටද වැඩ කිරීමට සිදුව ඇති බවත්, ඔවුන්ගෙන්ද රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසා තිබිණි.

 

චීනය කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය කාලයේ දැඩි සීමාවන් ක්‍රියාත්මක කළත් එම සීමාවන්ට එරෙහිව ඇතැම් පිරිස් විරෝධය දැක්වීමට පටන් ගත්හ. සති කිහිපයකට පෙර මෙම විරෝධතා බෙහෙවින් උත්සන්න වූ අතර ජනාධිපති ෂී ජින්පිං ඉල්ලා අස්විය යුතු බවටද ඇතැම්හු සටන්පාඨ කියන්නට වූහ.

 

මෙම පසුබිම තුළ ඇතැම් කොවිඩ් සීමා ලිහිල් කිරීමට රජය පියවර ගත්තේය. මෙම තත්ත්වයද කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් ඉහළ දැමීමට හේතු වී ඇති බව සඳහන් වේ. බොහෝ රටවල් කොවිඩ් සීමා ලිහිල් කළේ එම රටවල රෝග ව්‍යාප්තිය අඩු මට්ටමක පැවතියදීය. නමුත් චීනය එම පියවර ගත්තේ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් තිබූ පසුබිමකය.

 

කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු චීනයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ හැටනමදහස් නමසිය දහඅටකි. මරණ පන්දහස් දෙසිය තිස්පහක් වාර්තා වී තිබේ. මේ වනවිට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව තිස්පන්දහස් දෙසිය හැත්තෑ පහකි. නමුත් බොහෝ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ චීනයේ කොරෝනා වසංගතය සම්බන්ධ සත්‍ය සංඛ්‍යාලේඛන මීට වඩා විශාල වශයෙන් වැඩිවිය හැකි බවකි.

 

කොවිඩ් සමග ජීවත් වෙමින් ලෝකයේ බොහෝ රටවල් නව ජීවන රටාවකට හුරු වුවද චීනය සෑම විටම උත්සහ කළේ සීරෝ කොවිඩ් ප්‍රතිපත්තියෙහි සිටීමටය. එම ප්‍රතිපත්තියෙන් ඔවුන් උත්සහ කරන්නේ සෑම විටම රට තුළ කොවිඩ් ආසාදිතයන් බිංදුවේ තියා ගන්නටය. නමුත් දැන් චීනය පුරා යළි කොවිඩ් පැතිරෙන්නට පටන්ගෙන ඇත්තේ එම ප්‍රතිපත්තිය එතරම් සාර්ථක නැති නිසා බව විශේෂඥයන්ගේ අදහසය.

 

Aruna