Friday, October 25, 2024
Follow Us
පුටින් හැංගෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සෑම වසරකම අවසානයේ පවත්වන මාධ්‍ය සාකච්ඡාව කවදත් විශාල ජාත්‍යන්තර අවධානයක් දිනාගන්නා සිද්ධියකි.

නමුත් මේ වසරේ ඔහු මෙම මාධ්‍ය හමුව අවලංගු කර ඇති අතර එය බොහෝ පාර්ශ්ව තුළ යම් විමතියක් ඇති කර තිබෙනු පෙනේ. මෙම මාධ්‍ය හමුව මේ ආකාරයෙන් අවලංගු කිරීමට හේතුවක් ගැන ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ නැත.

 

මෙම හමුව මේ ආකාරයෙන් අවලංගු කර ඇත්තේ වසර 10කට පසු පළමු වතාවටය. ‘‘කෙසේ නමුත් ඉදිරි කාලයේ ජනාධිපතිවරයා මාධ්‍ය හමුවීම සඳහා වේලාවක් සොයාගනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා’’ යැයි පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශක ද්මිත්‍රි පෙස්කෝව් පවසා තිබිණි.

 

පසුගිය පෙබරවාරි මාසයේ රුසියානු ජනාධිපතිවරයා යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම රුසියාවේ බොහෝ පාර්ශ්ව තුළ යම් නොසන්සුන්තාවක් ජනිත කර තිබෙන්නකි. යුක්රේනයේ සටන් කරමින් සිටින රුසියානු හමුදා පසුගිය දිනවල යම් පසුබෑම්වලට මුහුණ දී තිබිණි. පුටින් මාධ්‍ය හමුව නොපැවැත්වීමට තීරණය කර ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය.

 

මේ අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවටද නිල නොවන ආරංචි පසුගිය කාලයේ විවිධ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි. සමහර අවස්ථාවල ඔහුගේ අත් වෙවුලන ආකාරයද, ඒවා දම් පැහැයක් ගෙන ඇති ආකාරයද දැක්වෙන වීඩියෝද සමාජ මාධ්‍ය තුළ පළ විය.

 

නමුත් මෙම වීඩියෝ දර්ශනවල නිරවද්‍යතාව කිසි විටෙකත් තහවුරු කෙරුණේ නැත. පුටින් පිළිකාවකින් පෙළෙමින් සිටින බවක්ද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මෙයට සති කිහිපයකට පෙර පළවූ වාර්තාවකින් පැවසුණේ ඔහු සිය නිවසේ පඩිපෙළකින් ඇද වැටී ඇති බවයි. මේ වනවිට පුටින්ගේ වයස අවුරුදු 70කි.

 

කෙසේ නමුත් පුටින් සාමාන්‍යයෙන් සැලකෙන්නේ මාධ්‍ය තුළ පෙනී සිටීමට විශාල කැමැත්තක් දක්වන කෙනකු ලෙසිනි. ඔහු සාමාන්‍ය ජනතාව සමග ගැවසෙන නායකයකු ලෙස ප්‍රතිරූපයක් ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වන්නකු ලෙසද සැලකේ. සමහර මාධ්‍ය හමුවලදී ඔහු ග්‍රාමීය ප්‍රදේශවල පාරවල් අලුත්වැඩියා කිරීම වැනි කාරණා ගැන පවා කතා කරයි.

 

ජනාධිපතිවරයාගේ වසර අවසාන මාධ්‍ය හමුව ඉතා පරෙස්සමින් සැලසුම් කරන මාධ්‍ය හමුවක් ලෙසද සැලකේ. පුටින්ගේ විවේචකයන් එය සලකන්නේ ඔහුට අවශ්‍ය ප්‍රශ්න පමණක් අසන, ඔහුට පක්‍ෂපාති මාධ්‍යවේදීන් සහභාගි වන හමුවක් ලෙසිනි.

 

ස්වාධීන මාධ්‍යවේදීන් සුළු පිරිසක් ඊට සහභාගි කරගත්තත් ඔවුන්ට එතරම් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නොදෙන බවටද ඔවුහු චෝදනා කරති. ඔවුන් ප්‍රශ්න ඇසුවත් මාධ්‍ය හමුවේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් කිරීමට ඔවුන්ට නොහැකි වන බව මෙම විවේචකයන්ගේ අදහසයි.

Aruna