Friday, October 25, 2024
Follow Us
සිංගප්පූරු හෙද රැකියා කෝටාව නතර වීමේ අවදානමක්

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා යොමුකළ ලිපියක් හේතුවෙන් හෙද හෙදියන් සඳහා ලැබීමට නියමිතව තිබූ සිංගප්පූරු රැකියා දහස් ගණනක කෝටාව නතර වීමේ අවදානමක් මතුව ඇති බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය රජයට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජය හා ඇතිකරගත් එකඟතාවක් මත මුල් අදියරේදී රජයේ රෝහල්වල හෙදියන් එකසිය විස්සකට සිංගප්පූරුවට යාමට අවස්ථාව උදාවී තිබිණි.

එම කණ්ඩායමේ මුලින්ම පිටව ගිය හෙදියන් දෙදෙනාගෙන් එක් හෙද නිලධාරිනියක් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සේවයට එක්ව ඇතැයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න යැවූ ලිපියක් මූලික කරගනිමින් මෙලෙස රැකියා අවස්ථා අහිමි වීමේ අවදානම මතු වී ඇත. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතිය (National University Health System) වෙත සෘජුවම මෙම ලිපිය යොමු කිරීමට විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පියවර ගෙන තිබේ. මෙම තත්ත්වය මත සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවෙන් ලබාදෙන සහතික පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි තානාපති අංශ මෙරටට දැනුම් දී ඇත.

 

තහවුරු කරගැනීමකින් තොරව රෝහල් අධ්‍යක්ෂවරයා මෙම ලිපිය යොමුකිරීමෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් මත ලබාදීමට ගිය රැකියා අවස්ථාවන් සඳහා අවදානමක් මෙන්ම කළු පැල්ලමක් එල්ල වී ඇතැයි තානාපති අංශ ‘අරුණ’ට අනාවරණය කළේය.

 

සිංගප්පූරු බලධාරීන් ලංකාවට ඇවිත් අපේ හෙද සේවය ගැන මනා පැහැදීමකින් ගියා. නමුත් මේ කළු පැල්ලමත් සමග ඔවුන් අපි ගැන තැබූ විශ්වාසය පලුදුවන්න පුළුවන් යැයි එම නිලධාරියා පැවැසීය. මෙම හෙද නිලධාරිනිය සම්බන්ධව සිංගප්පූරු රජයට ලිපියක් ඉදිරිපත් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්, ඔහු ධුරාවලියට පිටින් මෙම ලිපිය ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ක්‍රියාවක් කර ඇති බවත් හෙළි වී ඇත. ධුරාවලිය අනුව රෝහල් අධ්‍යක්ෂවරයා කළ යුතුව ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මාර්ගයෙන් එය අමාත්‍යාංශයට යොමුකර විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් සිංගප්පූරුවට ලිපිය යැවීමය. මෙම හෙද සේවය සඳහා සේවා සහතිකය ඉදිරිපත් කළ යුත්තේ හෙදියන් මෙහෙයවන ප්‍රධාන වි​ශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය බව ගිවිසුමේ සඳහන්ව තිබී ඇත.

 

එසේ තිබියදී රෝහල් අධ්‍යක්ෂවරයා ධුරාවලියත් අමතක කර පැමිණිලි කරමින් රාජ්‍ය තාන්ත්‍රිකව ඇති කළ කළු පැල්ලම සම්බන්ධව වෛද්‍යවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊයේ (12 වැනිදා) තීරණය කර ඇත. මේ සම්බන්ධව කළ විමසුමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහෙන්ද්‍ර කුමාරසිංහ පැවැසුවේ අද (13 වැනිදා) දින විෂය භාර ඇමැතිවරයාට මේ බව දැනුම් දෙන බවය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් හෙද නිලධාරිනියන් සිංගප්පූරුවට යැවීමේ කාර්යයට මැදිහත් වූ බවත් සේවා ගිවිසුම අත්සන් කිරීමේදී හෙදියගේ සේවා කාලයට අදාළ චරිත සහතිකය ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිය විසින් ලබාදිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. තමන් විදෙස්ගත වීම සඳහා ඉදිරිපත් කළ සියලු සේවා සහතික සත්‍ය ඒවා බවත්, අවශ්‍ය නම් රජයේ රස පරික්ෂක වෙත යවා විශේෂ​ ශ්‍රේණියේ හෙද නිලධාරිනියගේ අත්සන් තහවුරු කරන ලෙසත් මෙම සිද්ධියට චෝදනා එල්ල වූ හෙද නිලධාරිනිය බලධාරින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

මේ සම්බන්ධව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්නගෙන් අරුණ කළ විමසුමකදී සඳහන් කළේ ව්‍යාජ ලෙස සේවා සහතිකයක් ඉදිරිපත් කරමින් සිංගප්පූරුවේ රැකියාවට ගිය හෙද නිලධාරිනිය ගැන මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

 

සිංගප්පූරුවේ රෝහල්වල හෙද හෙදියන් සඳහා රැකියා ඇබැර්තුවලට බඳවා ගැනීමේදී ලියාපදිංචි හෙදියකට රුපියල් පන්ලක්ෂ තිස්අට දහසක (සිංගප්පූරු ඩොලර් 2000)ක වැටුපක් නිර්දේශ කර ඇත.

Aruna