Friday, October 25, 2024
Follow Us
ලිංගික රෝග ව්‍යාප්තිය 30%කින් ඉහළ ගිහින්

25ට අඩු තරුණියන්ට උපත් පාලන පෙති නොමිලේ

ප්‍රංශයේ යෞවනියන්ට රජයෙන් කොණ්ඩම් නොමිලේ

ෆාමසිවලින් ගන්න පුළුවන්

වයස අවුරුදු 18 - 25 අතර තරුණ තරුණියන්ට උපත් පාලන කොපු නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් නිවේදනය කර තිබේ.

ඔහු මෙම පියවර හඳුන්වා ඇත්තේ උපත් පාලනයේ පුංචි විප්ලවයක් ලෙසිනි.

මේ අනුව ඔසුහල්වලින් මෙම කොපු නොමිලේ ලබා ගැනීමට ඉහත වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ට හැකි වනු ඇත.

මෙය එළැඹෙන ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැක්රෝන් මෙම නිවේදනය කර ඇත්තේ තරුණයන්ගේ සෞඛ්‍ය සඳහා වූ වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රංශය විශාල අභියෝගයකට මුහුණ දී සිටින බවද ඔහු එහිදී පවසා තිබේ.

''ලිංගික සෞඛ්‍ය පැත්තෙන් අපි ඉන්නේ බොහොම නරක තැනක. මේ තත්ත්වය යහපත් අතට වෙනස් කර ගන්න රටක් විදිහට ඉක්මන් තීරණ ගත යුතුයි.

අපි මුහුණ දීලා ඉන්න යථාර්ථය පොත්වල තියෙන න්‍යායන්ට වඩා සෑහෙන දුරස්ථ තැනක තියෙන්නේ'' යැයි ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා තිබිණි.

මෙහි ප්‍රධාන අරමුණක් වන්නේ තරුණ පරපුර තුළ අනවශ්‍ය ගැබ් ගැනීම් අවම කිරීමයි. එමෙන්ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පාලනය කිරීමද තවත් අරමුණකි.

2020 සහ 2021 වසරවල එරට ලිංගික රෝග ව්‍යාප්තිය සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

වයස අවුරුදු 25ට අඩු තරුණියන්ට නොමිලේ උපත් පාලන පෙති ආදිය සපයා දීමටද මෙයට පෙර ප්‍රංශ රජය පියවර ගත්තේය.

මෙබඳු පියවරක් ගන්නා ලද්දේ මෙවැනි දෑ සපයා ගැනීමට මුදල් නොමැති වීම නිසා බොහෝ තරුණියන් ඒවා අත්හැර දමන බව හෙළි වී තිබීම හේතුවෙනි.

Aruna