Friday, October 25, 2024
Follow Us
දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහය

ශ්‍රී ලංකාව ගෙනඑන දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සහය අගය කරන බවත්, ඊට අවශ්‍ය තාක්ෂණික මෙන්ම ප්‍රායෝගික සහය ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් මෙරට සිටින නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාර් පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සහ බ්‍ර්තාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්වරිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිකිරීමට සැලසුම් කර ඇති දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද නියෝජ්‍ය මහකොමසාරිස්වරිය එහිදී පවසා තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ගෙනයනු ලබන වැඩපිළිවෙල මෙරට අනාගත සුබ සිද්ධිය උදෙසා සැලසුම් සහගතව ගත් පියවරක් බවයි ඇය පෙන්වාදී ඇත්තේ.

දේශගුණික විපර්යාස පිළිබඳ පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහිදී අදහස් පළ කළ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හරිත හයිට්‍රජන් බලශක්තිය පිළිබඳ මේ වන විටත් රජයේ අවධානය යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තියට ඇති ඉඩ ප්‍රස්ථාව තවත් වර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන පෙන්වාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

Neth