Friday, October 25, 2024
Follow Us
“විදෙස් ආයෝජන ගෙන්වාගන්න තරම් සුදුසු පහසුකම් ලංකාවේ තියෙනවා”

විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට තරම් සුදුසු යටිතල පහසුකම්, මානව සම්පත් ඇතුළු පහසුකම් ශ්‍රී ලංකාව සතු බවත් දැන් අවශ්‍ය වන්නේ ආයෝජන දිරිමත් කිරීම සදහා අවශ්‍ය නෛතික වෙනස්කම් ඇතිකරීම බවත්, චීනයේ විදෙස් රටවල් අතර මිත්‍රත්ව සංගමයේ සභාපති (CPAFFC) ලින් සොංග්ටියැන් මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා සිටියේ පසුගිය 15දා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති චී ජන්හොන්ග් මහතාද, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්විය.

ආයෝජකයන් දිරිගන්වන සුළු නෛතික පසුබිමක් කඩිනමින් ස්ථාපිත කළහොත් හම්බන්තොට ඇතුළු නිදහස් වෙළද කලාප පමණක් නොව කොළඹ වරාය නගරයටද පහසුවෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම චීනය ආයෝජන සදහා හැකි ඉහලම සහයෝගය ලංකාවට ලබා දෙන බවද ඔහු මෙහිදී පවසා ඇත.

චීනය මෙරට දිගු කාලීන මිතුරෙකු ලෙස ලබා දෙන සහයෝගය අගය කළ කථානායකවරයා දෙරටේ ද්වීපාර්ශ්වික සබදතා ඉදිරියේදීත් තර කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසීය.

අනතුරුව ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ විශේෂ රැස්වීමකට ද සහභාගී වූ ලින් මහතා, උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව වරායන්, අධිවේගී මාර්ග යනාදි සියලු පහසුකම්වලින් සමන්විත බවත් කර්මාන්ත, කෘෂිකර්ම ඇතුළු ක්ෂේත්‍රවල වේගවත් වර්ධනයක් ඉදිරියේදී අපේක්ෂා කරන බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් හරහා ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් වැඩිකරගැනීමට අපෙක්ෂා කරන බවයි.

ලින් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සුහද පිළිසදරක ද නිරත විය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සංචාරයකද නිරත වූ දූත පිරිස, විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාදය නැරඹීමටද එක්වූහ.

Mirror