Friday, October 25, 2024
Follow Us
අවුරුදු 50කට පසු පෘථිවියේම අලුත් ඡායාරූපයක් පෘථිවියට

චන්ද්‍රයා ගැන ගවේෂණයට නාසා ආයතනය විසින් අභ්‍යාවකාශගත කළ ඔරියන් අභ්‍යාවකාශ යානය පෘථිවියේ පළමු දර්ශනය ලබාගෙන තිබෙනවා. එය ඉතිහාසගත වන්නේ 1972 අවසන් ඇපලෝ මෙහෙයුමෙන් පසු මිනිසුන් රැගෙන යාමට නිර්මාණය කළ අභ්‍යාවකාශ මෙහෙයුමකදී පෘථිවියේ දර්ශනයක් ලබාගත් පළමු අවස්ථාව ලෙසයි.

කෙසේවෙතත් මෙම පළමු දසුන් පෙළ ලබාගැනීමට අභ්‍යාවකාශ යානය ගුවන්ගත කර පැය 9කට වඩා වැඩි කාලයක් ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පෘථිවියේ මෙම දර්ශන පෙළ ලබාගන්නා විට ඔරියන් අභ්‍යාවකාශ යානය පෘථිවියේ සිට සැතපුම් 57,000ක් පමණ දුරින් සඳ වෙත ගමන් කරමින් තිබූ බවද එම වාර්තාවේ සදහන්.

විවිධ බාධක මධ්‍යයේ සැලකිය යුතු කාලයක් ගත වූ මෙම ඓතිහාසික ආර්ටිමිස් එක මෙහෙයුම නාසා ආයාතනය සාර්ථක කරගත්තේ ඊයේ දිනයේයි. ඒ, අවසන් චන්ද්‍ර ගමනයෙන් වසර 50කට පසු පළමු වරටයි.

විදෙස් වාර්තාවලට අනුව මෙම අභ්‍යාවකාශ යානය නොවැම්බර් 25 වනදා සඳ වටා කක්ෂයට ඇතුළු වීමට නියමිතව තිබෙනවා. මෙම යානය තුළ සහ පිටත කැමරා 16ක් ස්ථාපිත අතර විවිධ දෘෂ්ටිකෝණ වලින් චන්ද්‍රයා නිරීක්ෂණය කිරීමට නියමිතයි. ඔරියන් අභ්‍යාවකාශ යානයේ සඳ වටා ගවේෂණ කාලය දින 25යි දශම 5ක්. මෙහෙයුම දෙසැම්බර් 11 වනදා අවසන් වීමට නියමිතයි.

Neth