Friday, October 25, 2024
Follow Us
ජනාධිපති ලෝකයම වෙනුවෙන් ඉල්ලීමක් කරයි

සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සැපයුම වඩා දුෂ්කරයි


ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට (07) සහභාගී වෙමිනි.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහතින්.

“අද වන විට බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙළෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මිලියන 300 කට අධික ජනතාවගේ ජීවනෝපාය අනතුරට පත්ව තිබෙනවා. මෙම බලපෑමට ලක් වූ රටවල් වර්ග දෙකක් තිබෙනවා. ඉන් එකක් තවදුරටත් ආහාර නොමැති රටවල්, එනම් ඉහළ යන වියදම් හේතුවෙන් ආහාර මිලදී ගැනීමට ක්‍රමයක් නැති හෝ තමන්ගේම ආහාර නිෂ්පාදනය කිරීමට හැකියාවක් නොමැති රටවල්, අනෙක සාම්ප්‍රදායිකව ප්‍රමාණවත් ආහාර සැපයුමක් තිබූ, නමුත් පිරිවැය ඉහළයාම හේතුවෙන් ආහාර සපයා ගත නොහැකි රටවල්,”
“පසුගිය සමයේ ඇතිවු පොහොර ගැටලුව හේතුවෙන් ලංකාවට ආහාර නිෂ්පාදනය සිදු කිරීමට නොහැකි වුණා.”
“කෙසේවෙතත් අප විසින් ක්‍රියාවට නංවන ලද ආහාර සුරක්ෂිතතාව සඳහා වූ ඒකාබද්ධ යාන්ත්‍රණය මගින් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයෙන් මෑතකදී අපට පොහොර තොග ලබා ගැනීමට හැකි වුණා. එසේ වුවද, ආහාර ලබා ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති සැලකිය යුතු පිරිසක් අපේ රටේ ඉන්නවා.”
“මෙම කොටස් දෙකටම අයත් රටවලට අවශ්‍ය ආහාර ලබාදීමට සියලුදෙනා සහතික විය යුතුයි. එම ජනතාවට ආහාර සැපයීම සදහා මුල්‍ය ආධාර අවශ්‍ය වෙනවා. මෙම කාණ්ඩ දෙකටම පොදු කරුණ නම් ණය පොළිය ඉහළ යාමයි.”
“වැඩිවන ණය පිරිවැය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල සමස්ත ජනගහනය සඳහා ආහාර සැපයුම සහතික කිරීම වඩා දුෂ්කර වී තිබෙනවා.”
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇත්තේ ඉහළ යන ආහාර හා පොහොර මිල දරා ගත නොහැකි වනු ඇති බවයි. ණය පොළී පිරිවැය ඉහළ යාමත් සමඟ බලපෑමට ලක් වූ රටවල් 48 හි ආහාර ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් එකතු වන බවත් එහි සඳහන් වෙනවා. මෙයින් අදහස් කරන්නේ මෙම රටවල් වර්ග දෙකෙහිම ණය අර්බුදයට තීරණාත්මක විසඳුමක් අවශ්‍ය බවයි.”
“මේ තත්ත්වයට නිසි ලෙස මුහුණ දීමට දැනට කිසිදු පොදු සැලැස්මක් හෝ කේන්ද්‍රස්ථානයක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, COP, ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ලෝක ආහාර වැඩසටහන (WFP) ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්ව එම කේන්ද්‍රස්ථානය ස්ථාපිත කළ යුතු වෙනවා.”
“2023 සහ 2024 ආහාර අවශ්‍යතා තක්සේරු කර ආහාර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස මම COP27හි ප්‍රධානියා ලෙස ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටිනවා.”
“බහුආංශික අරමුදල් ප්‍රභවයන් සමඟ සමීපව කටයුතු කිරීම හා ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා තිරසාර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කළ යුතුයි. මෙම සැලැස්ම 2023 පෙබරවාරි වන විට සකස් කර 2023 පළමු කාර්තුව අවසන් වන විට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.”
“මේ සඳහා අපි කඩිනමින් ක්‍රියා කළයුතුයි. එසේ නොවුනහොත් රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවන හානිය නැවත පිළිසකර කළ නොහැකි වනු ඇති බව සඳහන් කරන්න කැමැතියි. එළැඹෙන COP28 සමුළුවේ දී ගෝලීය ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සඳහා අප මධ්‍ය කාලීන සැලැස්මක් සම්පාදනය කිරීම අතිශයින් වැදගත් බව ද කිව යුතුයි.”

Aruna